ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික ක්ෂිතිජය සොයා යාමේ ඩිජිටල් මාවත – TRACE

ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික ක්ෂිතිජය සොයා යාමේ ඩිජිටල් මාවත – TRACE

අසපුවක ඇවිද යන්නාක් සේ හැඟිමක් ඇතිවිය. හාත්පස මැවෙන්නේ සිත නිවා සනහන උපශාන්ත දැකුම්ය. තැන තැන නැඟී ඉන්නා මහා වනස්පතීන් අතර පහළ වී ඇති මේ ඉදිකිරීම් සමූහය වාස්තු විද්‍යාත්මක ආශ්චර්යයක් වැන්න. ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික ක්ෂිතිජය සොයා යාමේ ඩිජිටල් මාවත ගරා වැටුණු බ්‍රිතාන්‍ය යුගයේ ගොඩනැඟිලි සහිත වන වැදුණු දුම්රිය මැදිරි සුන්බුන්වලින් පිරී ගිය අඳුරු මුඩුම බිමක් මේ තරම් අසිරිමත් සාර භූමියක් වූයේ කෙසේ දැයි විස්මයෙන් යුතුව කල්පනා කරමි.

මේ ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩ නංවන භූමි සම්පතය. රටේ අනාගත බුද්ධි කේන්ද්‍රය වන දැනටමත් මහා ශක්‍යතා සහිත වූවා පමණක් නොව විසල් මනසක් සහිත මනුෂ්‍යයන්ගේ බරසාර සංකල්ප ප්‍රකාරව අනාගත ලංකාවේ හැඩය රෝපණය කළ බිජුවට වැපිරූ සාර කෙත් බිම මෙයය. මා ඉදිරියෙන් එල්ෆින්ස්ටන් රඟහල පෙනේ. පසෙකින් මරදාන දුම්රිය අංගනයය. ඒ මැද බිහි වූ කොළඹ මරදානේ TRACE Expert City (TEC) භූමියේ හිඳිමි.

භූමියේ විහිදෙන්නේ ජාලගත විවෘත අවකාශයන්ගෙන් සමන්විත මිශ්‍ර භාවිත ගොඩනැඟිලි පන්තියකි. එය නිර්මාණය කරන්නේ නව පරපුරේ දක්ෂතම ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පියකු වන තිසර තනාපතිය. මෙම මහා පරිමාණ වාස්තු විද්‍යාත්මක හා නාගරික සැලසුම් ව්‍යාපෘතිය වර්ධනය වූයේ 2013 වසරේ දීය. ඒ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති සමයේ පිහිටුවන ලද පැරණි ට්‍රිපෝලි වෙළෙඳ පොළේ දැවැන්ත නමුත් අබලන් වූ පැරණි ගබඩා ගොඩනැඟිලි තුළය. වාස්තු විද්‍යාත්මක සංරක්ෂණය හා නැවත ඉදිකළ මේ විචක්ෂණ වාස්තු විද්‍යා නිර්මාණය මේ භූමියේ උත්පාදනය වන ගෞරවණීය දැනුමට සුදුසු බරසාර බවක් ගෙන එනු සේය.

ට්‍රේස් යනු කුමක් ද?

ඉතාම සරලව කිව යුත්තේ ඔබත් මමත් දන්නා ලංකාවේ සිටිනු ඇතැයි විශ්වාස නොකරන තරමේ විශාල හදවත් සහිත පරාර්ථයකින් යුතු බුද්ධිමතුන් පිරිසක් විසින් අනාගත ලංකාව වෙනුවෙන් නිර්මාණය කළ, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය සම්බන්ධ ප්‍රවර්ධන වෙනුවෙන් අධි තාක්ෂණික දැනුම් සංවර්ධනය වන කේන්ද්‍රයකි. ට්‍රේස් මෙහෙයුම, අතීතයේ දියුණු තාක්ෂණික මිනිසුන් සේ වැජඹුන ‘ලාංකේය ගෞරවය‘ නැවත ගෙන ඒමය. අනාගත තාක්ෂණික ලෝකයේ ශ්‍රී ලංකාවේ ස්ථානය සැලසුම් කිරීමය. ඒ අරමුණින් ලාබ නොලබන සංවිධානයක් ලෙස ට්‍රේස් පවතින්නේය.

මේ භූමියේ හිඳමින් අනාගත අධි තාක්ෂණික ලංකාවක් පිළිබඳ සැලසුම් කරන TRACE හි ගැඹුරු සංකල්පීය අර්ථ ප්‍රායෝගික කිරීමට කැප වන තරුණ විද්වතුන් වන හේමින්ද සහ මනෝද්‍ය සමඟ කෙටි සංවාදයක නිරත වෙමින් සිටිමි. හේමින්ද ජයවීර TRACE සංවිධානයේ උප සභාපතිවරයාය. මනෝද‍ය නබඩවැව, තාක්ෂණ නවෝත්පාදනය සහ සම්බන්ධීකරණය පිළිබඳ විධායක නිලධාරියාය. TRACE හී සිදුවන සියලු කටයුතු පිළිබඳ මේ දෙපළ අපට දීර්ඝ පැහැදිලි කිරීමක් කළෝය.

‘TRACE ‘කියන අකුරු පහෙන් අර්ථවත් වෙන්නේ Technologically Re-Awakening Culture of Excellence කියන පාඨය. සරලව කියනවා නම් තාක්‍ෂණිකව නැවත පිබිදීමේ විශිෂ්ටත්වයේ සංස්කෘතිය, යන අදහසයි.

අපේ දැක්ම ” තාක්‍ෂණය සහ නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාව වටිනාකම් දාමයේ ඉහළට ගෙන ගොස් තාක්‍ෂණික නවෝත්පාදන මඟින්, ගෝලීය ආර්ථිකය තුළ පිහිටු වීම සහ වෘත්තිය වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. නිර්මාණාත්මක ව්‍යවසායන්හි නියැළී සිටින විද්‍යාඥයන්, ශාස්ත්‍රයන් සහ කලාකරුවන්ගේ අවකාශීය එක්වීමකින් තමයි TRACE Expert City (TEC) නිර්මාණය වන්නේ.

ලෝකය සඳහා ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදන කර නිර්මාණය කළ ඉහළ කාර්ය සාධනයක් සහ හිමිකාර තාක්‍ෂණය බල ගැන්වීම සඳහා පරිසරයක් හදනවා වගේම නවෝත්පාදනය, වර්ධනය සහ සහයෝගීතාවට අපි පහසුකම් සලසනවා. ආචාර්ය හර්ෂ සුබසිංහ, රංජිත් රූබසිංහ, කුසල් සුබසිංහ, ආචාර්ය අජිත් පැස්කුවෙල්, මනෝ සේකරම්, ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, මංගල කරුණාරත්න, ස්ෆෙන් ජෝච්යචිම්, කුෂාන් කොඩිතුවක්කු, තිසර තානාපති සහ ආචාර්ය සංකල්ප ගම්වරිගේ වැනි විද්වත් වෘත්තිකයන් කණ්ඩායම එක්ව ට්‍රෙස් ගොඩනඟන්නෙ සල්ලි හොයන්න නෙවෙයි. ලංකාවේ ඉස්සරහට හැදෙන්න ඕන තාක්ෂණිකව දියුණු ලෝකයේ, අපේ පංගුව වෙන් කර ගන්න පුළුවන් නවෝත්පාදන හරහා ව්‍යවසායකත්වය නිර්මාණය කරන්නයි.

TRACE Expert City (TEC) වර්ග අඩි ලක්ෂයක් පුරා පැතිරී තිබෙනවා. ආයතන 12ක් මේ භූමිය තුළ තිබෙනවා. අන්තර්ජාතික තලය ස්පර්ශ කරන තාක්ෂණික ලෝකයේ තමන්ගේ ඉඩ වෙන් කරගත් ආයතන කිහිපයක්ද ඒ් අතර තිබෙනවා. ”හේමින්ද පවසන මෙම ආයතන කිහිපය ගතහොත් ඔවුන් ලෝකය තුළ මොනතරම් ප්‍රබලව සිය ක්‍රියාන්විතය දියත් කර තිබෙනවා දැයි සිතේ. අප මේ රට ගැන දන්නේ මොනවද, අප තුළ රට සම්බන්ධව ඇත්තේ මොනතරම් උදාසීන මනෝභාවයක් දැයි කල්පනා කරමි.

Vega EVX සුපිරි ලාංකේය විදත් වාහනය නිර්මාණය වන්නේ මේ භූමියේය. ටෙස්ලා තාක්ෂණය හා සමව වැඩිදියුණු කළ බැටරි බලයෙන් ක්‍රියාත්මක ස්පෝට් වර්ගයේ විදත් වාහනය නිෂ්පාදනය කරන Vega Innovations දකුණු ආසියාමේ මුල්ම සුපිරි විදත් මෝටර් රථ නිෂ්පාදකයාය. මෙම නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට මූලික දැනුම් සම්භාරය ලබා දෙමින් සැලසුම් සහගත ඉදිරි ගමනක් සැකසෙමින් ඇත්තේ මේ භූමියේය.

AI Grow සංකල්පය බල ගැන්වීම සඳහා පර්යේෂණ සිදුවන්නේ ද මේ භූමියේය. හයිඩ්‍රොපොනික් ක්‍රමයට නිර්මාණය වන හරිතාගාරයක් තුළ ස්වාභාවික පරිසර පද්ධතිය කළමනාකරණය කරමින් කෘත්‍රිම බුද්ධිය හරහා සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව සිදු කරන ගොවිතැන අනාගත ලෝකයේ ප්‍රශස්ත කෘෂිකර්මයක් සඳහා තාක්ෂණික භාවිතය ගැන විශිෂ්ට කතාවක් කියන්නේය.

Cloud Smart School සියලුම අධ්‍යාපන ගැටලු සඳහා විසඳුම් සැලසුම් කර ඇති තාක්ෂණික ප්‍රවේශයකි. ප්‍රතිභාවාත්මකව සහ අභ්‍යන්තරව ගැටලු විසඳීමට සිසුන් බල ගැන්වීමත් ජස්ට්-ඉන්-ටයිම් (JIT) පදනම් කරගත් අධ්‍යාපනය සඳහා පහසුකම් සැපයීමත් මෙහි සිදු කරයි. ලංකාවේ විදුලි වාහන සඳහා ලංකාවේ ඇති විදත් ආරෝපන ජාලයේ විස්තීරණ සම්බන්ධය වන ChargeNet මූලස්ථානයත් මෙතැනය. විදත් වාහන නඩත්තු කිරීම සහ සංවර්ධනය කිරීම, අගය එකතු කළ සේවා සැපයීම මේ යටතේ සිදු වේ.

ලෝක සම්භාවනාවට පත් තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ලාංකේය ආයතනයක් වන CodeGen ස්ථානගතව ඇත්තේ මෙහිය. CodeGen යනු ඉහළ කාර්ය සාධන තාක්ෂණික විසඳුම් සැපයීම සඳහා නැඟී එන වෙළෙඳ පොළ වෙත පිවිසෙන බහුවිධ විශේෂඥතාවක් සහිත අධි නිර්මාණාත්මක පරම්පරාවකින් ආනුභාව ලත් මෘදුකාංග සමාගමකි.

London Stock Exchange Group (LSEG) ද TRACE භූමියේ පිහිටා ඇත. LSEG යනු විවිධාංගීකරණය වූ ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළකට යටිතල පහසුකම් සහ දත්ත කළමනාකරණ ප්‍රවේශ සපයමින් ගෝලීය ව්‍යාපාර ආර්ථිකයක් සක්‍රීය කරන සමාගමකි.

Calcey කැලිෆෝනියාව පදනම් කරගත් බුටික් මෘදුකාංග ඉංජිනේරු සමාගමකි. ලොව පුරා ව්‍යවසායකයන් සඳහා මෘදුකාංග සහ ඩිජිටල් නිෂ්පාදන සංවර්ධනය කිරීමේ විශේෂඥවරු ලෙස ලෝකය පිළිගත් සමාගමකි. ඒ සමාගමත් මෙතැනය.

මෙහි පිහිටා ඇති Orel Corporation විසින් මානව වර්ගයා සවිබල ගන්වමින් දීප්තිමත්, පිරිසිදු සහ බුද්ධිමත් අනාගතයක් සඳහා මෙහෙයවීමේ පරිකල්පන ප්‍රායෝගික කරන සමාගමකි. ජල කළමනාකරණය ගැන දැඩි අවධානයක් සහිතව ස්මාර්ට් තාක්ෂණයෙන් ජලය පිරිමසා ගැනීමේ පර්යේෂණ මාලාවක ඔවුහු නිරත වෙති.

Nagarro යනු ගෝලීය ඩිජිටල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. TRACE Expert City (TEC) හි ප්‍රජාවට පූර්ණ මානසික විරේචනයක් ලබා දී නිර්මාණාත්මක ව්‍යවසායකයකුගේ ආතතිය සමනය කරන ආධ්‍යාත්මික පුහුණුවක් ද Nagarro විසින් මසකට වරක් සිදු කරයි.

Good Life X (GLX) සවිඥානික ව්‍යවසායකත්වයේ සක්‍රීයකාරකයකි. ආර්ථික හා සමාජීය සමෘද්ධිය ගෝලීය වශයෙන් පෝෂණය කිරීම සඳහා ආරම්භක ව්‍යවසායන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ කටයුතු කරන තාක්ෂණික උපදේශන සමාගමකි. SLT Mobitel නවෝත්පාදන මධ්‍යස්ථානය ඇත්තේ මේ බිමේය. සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම එයින් කරනු ලබයි.

“Magicbit මෙම අවකාශයට එක් වී ඇති තවත් නවෝත්පාදන සමාගමකි. නවෝත්පාදන අවකාශයේ ed-tech විසඳුම් සැලසුම් කරන සමාගමකි. ලොව පුරා රටවල් 38ක සිසුන් සඳහා තාක්ෂණය සමඟ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමට දෘඩාංග, මෘදුකාංග, ජංගම යෙදුම් වැනි නවීන අධ්‍යාපනික මෙවලම් සංවර්ධනය කරන්නේය.

ශ්‍රී ලංකා පර්යේෂණ විශ්වවිද්‍යාලය (SLTC) මේ බිමේ පිහිටා තිබේ. SLTC යනු පර්යේෂණ සහ නවෝත්පාදනය සඳහා අනාගත ලෝකයට චින්තනයක් සහිත නිර්මාණාත්මක වෘත්තිකයන් බිහි කරන ලංකාවේ දැනට ඇති ප්‍රමුඛතම පෞද්ගලික තාක්ෂණ සරසවියය.

මේ විශිෂ්ට තාක්ෂණික පර්ෂදය කළමනාකරණ වගකීම් පිළිබඳ හේමින්ද සහ මනෝද්‍ය අපට තවත් බලාපොරොත්තු සහගත කතාවක් කියමින් සිටියි.

“ඔබ දකින මේ භූමිය ඇතුළේ තවත් විශාල වැඩ කොටසක් වෙනවා. අප සමඟ අවබෝධතා ගිවිසුම්වලට ඇවිත් සති අන්තයේ දී මේ රටේ කුඩා දරුවාගේ සිට වැඩිහිටි දක්වා පිරිස්වල නවෝත්පාදනයට මනස සහ හැකියාව පුබුදුවන වැඩසටහන් පවත්වන ආයතන ගණනක් තියනවා. අවුරුදු තුනේ ඉඳන් ළමයි සති අන්තයේ මෙතැනට ඇවිත් රොබෝ තාක්ෂණය ඉගෙන ගන්නවා. ඩ්‍රෝන තාක්ෂණය සඳහා වර්ක්ෂොප් තිබෙනවා. ඉලක්කය පොඩි ළමයින්ගේ නිර්මාණාත්මක චින්තනය වැඩි කිරීමයි. මෙතැන තිබෙන වැදගත්ම දේ කියන්නම්. TRACE එක්ක සම්බන්ධ ශ්‍රම බලකාය 2500ක්. ඔවුන් මේ රටට වාර්ෂිකව ගේන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 110ක්. ආසන්න වශයෙන් රටේ තොරතුරු තාකෂණ ක්ෂේත්‍රයේ විදේශ විනිමයෙන් සියයට 10ක් TRACE එක්ක ඉන්න විශේෂඥ ආයතන විසින් හොයලා දෙනවා.

ශ්‍රමිකයන් 2500ක් ඩොලර් මිලියන 110ක් ගේනවා කියන්නේ එක්කෙනෙක් වාර්ෂිකව උත්පාදනය කරන මුදල ඩොලර් හතළිස් දාහක් . ඒ කියන්නේ ඇමෙරිකානු ජීවිත ප්‍රමිතිය. මෙහි ඉන්නවා ඩොලර්වලින් පඩි ගන්න අය. ලංකාවෙ වැඩ කළාට යුරෝපයේ පඩිය ගන්න අය. “

මේක තමයි ලංකාව ඇතුළේ ප්‍රමෝට් වෙන්න ඕන. මේ නවෝත්පාදන ප්‍රායෝගික ආර්ථික ශක්තියක් බවට පත් කරගන්න රජය, පෞද්ගලික අංශය සහ සරසවි පද්ධතිය ඒකාබද්ධ විය යුතුයි. අපි මේ භූමිය ඇතුළෙ එය කර පෙන්නුවා. ප්‍රාදේශීය කේන්ද්‍ර හරහා ඒ ආකෘතිය රටටම ආදේශ කරන්න හදන්නෙත් සරසවි පද්ධතිය සම්බන්ධ කරගනිමින්. වයඹ සරසවිය, ඌව සරසවිය, නැ‌ෙඟනහිර සරසවිය , යාපනය සරසවිය, රුහුණ සරසවිය, පේරාදෙණිය සරසවිය ඇතුළු සරසවි පද්ධති හා සම්බන්ධ වී ප්‍රාදේශීය තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍ර ගොඩනඟමින් මේ ආකෘතිය රටටම ආදේශ කිරීමේ සමාජ බල ගැන්වීමයි දැන් සිද්ධ වෙන්නේ.

ඒ වැඩේදි තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA), ජාතික නවෝත්පාදන ඒජන්සිය (NIA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS), අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු ආයතනය (IEEE) එක්ක ඉතාම සමීපව කටයුතු කරනවා.

අනාගතයට දැනුමින් සන්නද්ධ ශ්‍රම බලකායක් මේ වැඩපිළි‍වෙළ හරහා නිර්මාණය වෙනවා. වේගා කාර් එක හදලා ඒක කර්මාන්තයක් ලෙස පවත්වා ගන්න නම් ඒ සඳහා පුහුණු ශ්‍රම බලකායක් ඉන්න ඕන. ඒ ශ්‍රම බලකාය මෙතැන නිර්මාණය වෙනවා. සෑම දිනකම 60ක් 70ක් තරුණයො විදත් වාහන ක්ෂේත්‍රයේ ටෙස්ලා කර්මාන්ත තාක්ෂණයට සමාන තාක්ෂණයක් වේගා තාක්ෂණික ආයතන ඇතුළෙ පුහුණු වෙනවා. මේ පුහුණුව අරන් ඔවුන් යන්නේ ලෝකයට. ගිහින් ඒ දැනුමින් සන්නද්ධ වෙනවා. කවදා හරි අපි කර්මාන්තයක් පටන් ගත්ත දවසට මේ ශ්‍රම බලකායේ යම් ප්‍රතිශතයක් හිටියත් එය රටට ප්‍රමාණවත්.

මෙය දීර්ඝ කාලීන ක්‍රමානුකූල වැඩසටහනක්. නමුත් අපට කරන්න පුළුවන්. සෑම රජයකම, සෑම දේශපාලන අධිකාරියක්ම මේ වැඩසටහන සම්බන්ධව ඉන්නේ දැඩි ප්‍රසාදයෙන්. කවුරු නොකෙරුවත් ජාතියක වගකීම ලෙස සිතා මේ දේ කරන් යන්න අවශ්‍ය යැයි හිතන වෘත්තිකයො ටිකක් තමයි අපිත් එක්ක ඉන්නේ. “ හේමින්ද සහ මනෝද්‍ය කියන්නේය.

මේ සංකල්පය ගෙනැවිත් රෝපණය කළ TRACE ආයතනික කාර්ය මණ්ඩලය 06 දෙනෙක් පමණි. ඔවුන් කරන්නේ මේ දැක්ම රටට සන්නිවේදනය කර හවුල් කරුවන් සොයාගෙන එය ප්‍රායෝගික කිරීම, සම්බන්ධීකරණය හා TRACE Expert City පරීශ්‍රයේ පහසුකම් කළමණාකරණය කිරීමය. මේ රට මහා චින්තන පෙරළියකට සූදානම් කරන මේ ජව සම්පන්න ලාංකේය වෘත්තිකයන් පිළිබඳ උපදින්නේ කෘතවේදී හැඟීමකි.

“කවුරු නොකළත් තව අවුරුදු 10ක් ඇතුළත අපි ලංකාව සංවර්ධිත රටක් කරනවා…”

එහෙම හිතන මිනිසුන් මේ රටේ සිටින බව දැන නොසිටියෙමි. ඒ උතුම් චින්තන පර්ෂදය මේ මහා නවෝත්පාදන අසිරිය තරම්ම බරකින් දැනෙන බව ලියා තබමි. ඇත්තටම දැනෙන දේ ලිවිය යුතුය.

CATEGORIES
TAGS
Share This