Science of Love – ආදරයේ විද්‍යාව

Science of Love – ආදරයේ විද්‍යාව

ආදරයේ විද්‍යාව – Science of Love

ආදරය යනු කලාව සහ සාහිත්‍යය තුළ ඉතා ම ජනප්‍රිය මාතෘකාවකි. නමුත් ප්‍රේමය යනු සම්පූර්ණයෙන් ම විද්‍යාත්මක හා මොළයේ රසායනික යාන්ත්‍රණය මඟින් පාලනය වන සංසිද්ධියකි.

ආචාර්ය හෙලන් ෆිෂර් (Helen Fisher) විසින් ස්නායු විද්‍යාත්මක සාධක මත පදනම් ව ආදරය ප්‍රධාන උප කුලක ත්‍රිත්වයකට බෙදා දක්වයි. රාගය (Lust), ආකර්ෂණය (Attraction) සහ බැඳීම (Attachment) ඒ ත්‍රිත්වයයි. මෙහි රාගය සහ ආකර්ෂණය සමපාතව එකිනෙක අතිච්ඡාදනය වී තිබුණ ද බැඳීම මුල් ද්විත්වයෙන් වෙන් ව ස්වාධීන ව පවතින්නක් ලෙස නිරූපණය කළ හැකි ය. එසේ ම මේ හැඟීම් ත්‍රිත්වයට වගකිව යුතු එකිනෙක වෙනස් වූ ස්නායු සම්ප්‍රේෂක සහ හෝමෝන පවතී. ඒ අනුව රාගය ඇති කිරීම ටෙස්ටස්ටෙරෝන් (Testosterone) සහ ඊස්ට්‍රජන් (Estrogen) මඟිනුත්, ආකර්ෂණය ඇති කිරීම ඩොපමින් (Dopamine), නොඑපිනෙප්‍රින් (Norepinephrine) මඟිනුත්, බැඳීම් ඇති කිරීම ඔක්සිටොසීන් (Oxytocin) සහ වැසෝප්‍රෙසීන් (Vasopressin) මඟිනුත් සිදු කරයි.

පරිණාමික ව ගත් කල වර්ගයා බෝ කිරීම හා ඍජු ව ම බැඳී ඇති බැවින් ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඉවහල් වූ වැදගත් ම මනෝභාවය ලෙස හැඳින්විය හැක්කේ රාගයයි. සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව සැම සත්ත්වයකු ම සතුව පවතින පොදු මූලික මනෝභාවයන් දෙකෙන් එකකි රාගය. රාගික හැඟීම් ඇති කිරීම පාලනය කරනුයේ අපගේ මොළයේ ඇති හයිපොතැලමස (Hypothalamus) නම් ව්‍යුහය මඟිනි. හයිපොතැලමස ලිංග හෝමෝන ස්‍රාවය කිරීම සඳහා විධාන ලබා දේ. මානව ලිංග හෝමෝන ලෙස පිරිමින් තුළ ටෙස්ටස්ටෙරෝන් හෝමෝනයත්, කාන්තාවන් තුළ ඊස්ට්‍රජන් හෝමෝනයත් පවතී. මිනිසා තුළ ලිංගික පරිණත බවත්, ද්විතීක ලිංගික ලක්‍ෂණත් ඇති කරන්නේ මේ ලිංග හෝමෝන මඟිනි. එසේ ම ඉහත සඳහන් පරිදි රාගික සිතිවිලි ඇති වීමටත් මෙකී හෝමෝන අත්‍යවශ්‍ය ය. අප ප්‍රේම කරන තැනැත්තා හෝ වෙනත් ආගන්තුක විරුද්ධ ලිංගිකයකු දුටු විට අපගේ හයිපොතැලමසේ ලිංග හෝමෝන ස්‍රාවය කිරීමට අදාළ නියුරෝන උත්තේජන වී ඒ මඟින් ස්ත්‍රීන් තුළ ඊස්ට්‍රජන් සහ පිරිමින්ගේ ටෙස්ටස්ටෙරෝන් සාන්ද්‍රණයන් සාපේක්‍ෂව වැඩි වී අප තුළ අදාළ තැනැත්තා කෙරෙහි රාගික හැඟීම් ඇති වේ. එය ප්‍රේමයක පළමු බීජය විය හැකි ය. ළමුන් වැඩි වියට පත් වන කාලයේ දී ඔවුන් ප්‍රේම සබඳතා කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ද දැකිය හැක්කේ ලිංගික පරිණතියත් සමඟ එයට හේතු වන ලිංග හෝමෝන ඉහළ සාන්ද්‍රණයන්ගෙන් ස්‍රාවය වන බැවිනි. එසේ ම ප්‍රේමයේ දී, විශේෂයෙන් ම රාගයේ දී මොළයේ තාර්කික බුද්ධියට අදාළ කොටස වන පූර්ව මස්තිෂ්ක භාහිකයේ (Pre frontal cortex) සහ බිය, සැකය, සමාජ විනිශ්චය වැනි ඍණාත්මක හැඟීම් පාලනය කරනු ලබන මොළයේ අභ්‍යන්තරයේ ඇති ස්නායුක පරිපථ අකර්මණ්‍යය වේ. ප්‍රේමයේ නාමයෙන් අප වැරැදි තීරණවලට එළැඹීමට වැඩි ප්‍රවණතාවක් ඇත්තේ මේ හේතුව නිසා ය.

අප ආදරය කරන තැනැත්තා සමඟ කාලය ගත කරන විට අපට සතුටක් හා ප්‍රසන්න හැඟීමක් ඇති වේ. එම ප්‍රසන්න හැඟීම් අප ආදරය කරන තැනැත්තා වෙතට අපව ආකර්ෂණය කරවයි. අපව සතුටු කරන ඕනෑ ම දෙයක් වෙත අපව ආකර්ෂණය කිරීම මොළයේ කාර්යභාරයයි. අපගේ සතුට උදෙසා මොළය විසින් අපට ලබා දෙන ත්‍යාගයකි ඒ. මොළයේ මේ ක්‍රියාකාරීත්වය හඳුන්වන්නේ Reward system ලෙසිනි. ප්‍රේම සම්බන්ධයක මුල් සති කීපය වඩාත් ප්‍රීතිදායක වීමට හේතුව ද මෙයයි. ඩොපමින් නම් ස්නායු සම්ප්‍රේෂකය මොළයේ මේ හැසිරීම සඳහා හේතු වේ. අප සතුටුදායි යමක් කරන විට, එනම් ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමඟ කාලය ගත කරන විට මොළයේ හයිපොතැලමසින් ඩොපමින් සහ නෝපිනෙප්‍රීන් අධික ස්‍රාවය වීම ඉහළ නංවයි. මේ රසායන ද්විත්වය ප්‍රේමය වෙතට අපව වඩ වඩාත් ආකර්ෂණය කරවයි. ඊට අමතර ව ඩොපමින් සහ නෝප්‍රිනෙප්‍රීන් නිදිබර ගතිය අඩු කර අපව අවදි ව තැබීමට ද හේතු වේ. නවක පෙම්වතුන්ට නින්ද දුරස් වන්නේ ඒ නිසා ය. ප්‍රේමයේ මූලික පියවරක් වන ආකර්ෂණය ඇති වීමේ දී නිරායාසයෙන් ම අපගේ ශරීරයේ කෝටිසෝල් හෝමෝන ස්‍රාවය වීම වැඩි වේ. කෝටිසෝල් යනු පීඩනකාරී තත්ත්වයන්ට අප මුහුණ දෙන විට ස්‍රාවය වන හෝමෝනයක් වන අතර එමඟින් අපව එකී පීඩනකාරී තත්ත්වයට පහසුවෙන් මුහුණ දීමට සූදානම් කරවයි. ප්‍රේම සම්බන්ධයකට පැටළුණු අලුත මනසේ පීඩාකාරී බව අඩු වී වඩාත් සැහැල්ලුවක් දැනීමට මෙය හේතුවකි. කෙසේ වුවත් ආකර්ෂණය යනු එක්තරා ආකාරයක ඇබ්බැහියකි. ප්‍රේමණීය ආකර්ෂණයේ දී අපගේ මොළයේ ඩොපමින් වැඩි වීම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකුගේ මොළයේ ඩොපමින් ඉහළ යෑම හා සමාන ය. ඇබ්බැහි වීමක දී සිදු වන්නේ අප යමක් මත කොන්දේසි විරහිත ව ම රඳා පැවතීමට හැඟීම් මෙහෙය වීමයි. ප්‍රේමයේ දී ද මේ හැඟීමට මුහුණ නො දුන් අයෙක් සිටිය නො හැකි ය. ප්‍රේමයේ දී ඊර්ෂ්‍යාව, ආවේගශීලි බව වැනි ඍණාත්මක ආකල්ප ඇති වන්නේ මේ ඇබ්බැහිකාරක ගුණයේ ප්‍රතිඵලයකිනි.

රාගයෙන් හෝ ආකර්ෂණයෙන් ඇති වූ ප්‍රේමයේ දීර්ඝ කාලීන පැවැත්ම සහ සම්පූර්ණ බව තීරණය වන්නේ පෙම්වතුන් අතර ගොඩනැඟෙන බැඳීම අනුව ය. රාගය සහ ආකර්ෂණය විරුද්ධ ලිංගිකයන් අතර ඇති වන ආලයට ම ආවේණික වුව ද බැඳීම් ගොඩනැඟීම පොදුවේ සමාජයක් වශයෙන් සංවිධානය වීමේ දී මිතුරන් අතර, දෙමාපියන් හා දරුවන් අතර හෝ වෙනත් සමාජ කණ්ඩායම් අතර ද ඇති විය හැකි ය. ඒ කුමන අරමුණකින් වුවත් අප යමෙක් සමඟ බැඳීමක් ඇති කර ගැනීමේ දී හයිපොතැලමසින් ඔක්සිටොසීන් හෝමෝනය අධික ප්‍රමාණයකින් ස්‍රාවය වේ.

ෆොසිල විද්‍යාත්මක සාධක අනුව ප්‍රේමයේ පරිණාමයේ මූලික බීජය රෝපණය වූයේ අදින් වසර මිලියන 200 පෙර මිහිමත වූ ක්‍ෂීරපායි මවකගෙනි. පිරිමි සත්ත්වයා සිය ජන්මාණු ගැහැනු සත්ත්වයාට ලබා දුන් පසුව ඇයව අතැර යයි. ගැහැනු සත්ත්වයාද පැටවුන් බිහි කළ පසුව පැටවුන් අතැර යයි. නමුත් ක්‍ෂීරපායි සත්ත්වයෝ ඉපදුණු දරුවන් ව පෝෂණය කරමින් රැක බලා ගනිති. මාතෘ-දාරක බැඳීම එසේ ඇති විය. දරුවන් රැක බලා ගැනීමට ගැහැනු සත්ත්වයාට උපකාර වීමට පිරිමි සත්ත්වයා ප්‍රජනන ක්‍රියාවලියෙන් පසුව ගැහැනු සත්ත්වයා අතැර නොගොස් රැඳුණේ ය. මේ විරුද්ධ ලිංගික යුගල ප්‍රේමය ඇති වීම අදින් වසර මිලියන හතකට පමණ පෙර

වානරයාගෙන් මානවයා වෙන් වීමෙන් පසු සහ නූතන හෝමෝ සේපියන්වරු අතීත නියැන්ඩතාල් මානවයන්ගෙන් වෙන් වීමට පෙර ඒ අතරමැද තැනක සිදු වී ඇත. වර්ගයා බෝකිරීමට රාගය ප්‍රමාණවත් වුවත් අභියෝග හමුවේ නොනැසී සිටීමට එකිනෙකා හා බැඳීම් ගොඩනඟා ගත යුතු විය. ආදි මානවයෝ කණ්ඩායම් ගොඩනඟා ගෙන එකිනෙකාගේ ආරක්‍ෂාව වෙනුවෙන් සංවිධානගත වූ හ. රාගය, ආකර්ෂණය සහ බැඳීම් ඇති වී ප්‍රේමය නම් හැඟීම පරිණාමය වූයේ එසේ ය.

මිනිසා අත්දකින ප්‍රේමය එලෙස ම අනෙක් සත්ත්වයන් අත්විඳින්නේ ද යන්න විවාදාත්මක ය. නමුත් මිනිසා අත්දකින හැඟීම් පරාසයට සමාන පරාසයක හැඟීම් සතුන් ද අත්දකින බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ගෘහස්ථ ක්‍ෂීරපායින් ආශ්‍රයෙන් සිදු කර ඇති පරීක්‍ෂණවල දී ප්‍රේමණීය හැඟීම ජනිත වීමේ දී මිනිස් මොළයේ සිදු වන වෙනස්කම්වලට සමාන රසායනික වෙනස්කම් සතුන් තුළ ද සිදු වන බව සොයා ගෙන ඇත. නමුත් මිනිසුන් මෙන් දීර්ඝ කාලීන ප්‍රේම සබඳතා සත්ත්ව ලෝකයේ දැකීම දුර්ලභ ය. සතුන් සහකරුවෙක් සොයා ගන්නේ සිය ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට ය. සත්ත්ව ලිංගික ආකර්ෂණය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ ප්‍රජනක සමයේ දී ඔවුන්ගේ ශරීරවලින් බාහිරට ස්‍රාවය වන පෙරමෝන නම් රසායනික මත ය. ගැහැනු සත්ත්වයාගේ පෙරමෝනවල ගන්ධය සිය ශ්වසන අවයව මඟින් සංවේදනය කර ගන්නා පිරිමි සතුන් ඇයව සොයා එයි. මිනිසා සතු ව ද පෙරමෝන පවතී. අපගේ නාසයේ පෙරමෝන හඳුනා ගැනීම සඳහා ඉවහල් වන විශේෂිත සංවේදක පවතී. නමුත් මිනිස් පෙරමෝන සත්ත්ව පෙරමෝන තරම් ප්‍රබල අන්දමින් ආකර්ෂණය උදෙසා බල නො පායි. මිනිසා සිය සහකරු තෝරා ගැනීම උදෙසා වඩා දියුණු නිර්ණායක භාවිත කරයි. එවැනි නිර්ණායක ලෙස ප්‍රධාන වශයෙන් පිරිමියා ස්ත්‍රිය සතු බාහිර ආකර්ෂණයත්, ස්ත්‍රිය සම්පත් උකහා ගැනීමට පිරිමියා සතු හැකියාවත් සලකා බලයි.

CATEGORIES
TAGS
Share This