අපිට අහිමි වූ කඳු මුදුන් සහ ප්‍රඥාව

අපිට අහිමි වූ කඳු මුදුන් සහ ප්‍රඥාව

The Peaks and The Wisdom We Lost

අපේ ඉතිහාසය ගත්තම නම් වෙහෙර විහාර හදල තියෙන්නේ හාමුදුරුවරු නෙමෙයි. රජවරු හෝ සිටුවරු (ධනවතුන්) තමයි වෙහෙර විහාර හදල ශාසනයට පූජා කිරීම කරල තියෙන්නෙ. අහල නෑ අහවල් ස්වාමීන්වහන්සේ විසින් අහවල් වෙහෙර අහවල් කඳු මුදුනේ ඉදිකළා කියලා සෙල්ලිපියක හෝ වෙනත් ඉතිහාස කෘතියක ලියවිලා තියෙනවා (එහෙම තියෙනවා නම් නිවැරදි කරන්න.). හැබැයි දැන් ලංකාවේ හාමුදුරුවරු තමන්ගේ ප්‍රධානම කාර්යය ගොඩනැගිලි හදන එක කියලා හිතාගෙන ඉන්නේ. හෞතික සංවර්ධනය මිස ආධ්‍යාත්මික සංවර්ධනය ඔවුන්ට මගහැරිලා.

ඉතිහාසය දිහා බැලුවම, ඓතිහාසික වෙහෙර විහාර කඳු මුදුන් වල හදලා නෑ කියල පැහැදිලියි. තෙත් කලාපයේ කිසිම තැනක කන්දක් මුදුනේ වෙහෙර විහාර හදල නෑ. (වියලි කලාපයේ මගේ මතකයට එන්නේ මිහින්තලා චෛත්‍යය සහ විහාරය විතරයි ටිකක් උස තැනක හදල තියෙන්නේ.) එහෙම කඳු මුදුන් වල වෙහෙර විහාර නොහදන්න කාරණා කීපයක් බලපාන්න ඇති. පළවෙනි කාරණය මට හිතෙන්නේ බැතිමතුන්ට පහසුවෙන් ළඟා වීමේ හැකියාව. ගමේ ඉන්න ලොකු, කුඩා කාට වුනත් පහසුවෙන් පන්සලට එන්න පුළුවන් දුරක සහ නගින්න පුළුවන් උසක පන්සල හදන එක වැදගත්. වයසට ගිය මනුස්සයෙක්ට නගින්න බැරි කන්දක් මුදුණේ වෙහෙරක් හදන්නේ මොකටද? ඒක තේරුම් ගන්න තරම් ඥාණයක් අතීතයේ මිනිස්සුන්ට තිබුණා කියල පේනවා.

දෙවැනි කාරණය, කඳු මුදුන් වල ඇති පාරිසරික අගය රැකගැනීම. මධ්‍යම කඳුකරය කියන්නේ රජවරුන්ගේ ඍජු මැදිහත්වීම මත සංරක්ෂණය කළ කලාපයක්. වෙහෙර විහාර තියා මිනිස්සුන්ට ඇතුල් වෙන්නවත් නුදුන්න කලාපයක්. ඒවට කිව්වේ තහංචි කැලෑ කියලා. ඊට අමතරව රජු විසින් පැනවූ නීති බොහොමයක් වාරි ශිෂ්ඨාචාරය ආරක්ෂා කිරීම උදෙසා පරිසරය, විශේෂයෙන්ම ජල සංරක්ෂණය උදෙසෑ පැනවූ නීති. උදාහරණයක් වශයෙන් දප්පුල රජු විසින් පැනවූවා යැයි සැලකෙන දියපත්තායම් තහංචිය, භූදිය තහංචිය, මඩකලු තහංචිය වැනි නීති සලකන්න පුළුවන්. මොකද රජරට වාරි ශිෂ්ටාචාරයේ පැවැත්ම රඳා පැවතුනේ මධ්‍යම කඳුකරය සහ ජල සංරක්ෂණය නිසා. වියලි කලාපයේ උනත් කඳු මුදුන් ඇතුළු ජල පෝෂක ප්‍රදේශ විශේෂ වැදගත්කමකින් ආරක්ෂා කරපු ප්‍රදේශ. වියලි කලාපයේත් තහංචි කැළෑ තිබිල තියෙනවා. රිටිගල, නාමල් උයන ඒ වගේ තංහචි කැලෑ. ඒවායේ ඉන්න අවසර තිබ්බෙත් පිණ්ඩපාත චර්යාව පිළිපදින භික්ෂුන්ට පමණයි. මිනිස්සු කවදාවත් කඳු මුදුන් වල බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලාට දානය රැගෙන ගියේ නැහැ.

(අතුරු කතාවක්) එවැනි කැලෑ සහ කඳු මුදුන් වලට ආගන්තුකයො වශයෙන් රිංගුවේ රාජ පුරුෂයින්ගෙන් බේරෙන්න හදපු සොරුන් මිනීමරුවන් වැනි අපරාධකරුවන් පමණයි. මොකද රාජ නීතිය අනුව රාජපුරුෂයන්ට පවා යම් සීමාවකින් එහාට එවැනි කෑළෑ සහ කඳු මුදුන් වලට ඇතුල්වෙන්න අවසර තිබ්බේ නෑ. විශේෂයෙන්ම ඒ ආරණ්‍යවාසී සහ වනවාසී භික්ෂුන්ගේ කටයුතු වලට බාධා සිදුවන නිසා. මොන අපරාධකාරයා පසුපස හඹා ආවත් එවැනි සීමාවකින් එහාට රාජපුරුෂයන් වුනත් ඇතුළු වුණේ නැහැ. ඒක දන්න අපරාධකරුවන් පැනල ඇවිත් හැංගෙන්නේ එවැනි කැලෑ වල. එවැනි අපරාධකරුවන් කැලේ ඇතුලේ ජීවිතය ගැටගසා ගන්න නම් බණ භාවනා කරන භික්ෂූන් වහන්සේ නමක් හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පිණ්ඩපාතයෙන් කොටසක් ඉල්ලගෙන කන්න වෙනවා. එහෙම ඉල්ලගෙන කන්න නම් භික්ෂූන් වහන්සේගේ කියන විදිහට බණ දහම් පුරමින් ඉන්න ඕන. එහෙම නැත්නම් කන්න නෑ. කැලෙන් එළියට යන්නත් බෑ, ගිය ගමන් රාජපුරුෂයෝ ඉන්නවා රැකවල් ලා ගෙන. ඉතිං එවැනි අපරාධකරුවන් කැලෙන් එළියට එන්නේ දීර්ඝ කාලයක් බණ දහම් පුරලා ආධ්‍යාත්මිකව දියුණු මිනිහෙක් විදියට, එක්කෝ මහණ වෙලා නැත්නම් සැදැහැවත් උපාසකයෙක් වෙලා. එහෙම උනොත් තමයි රජුගෙන් සහ සමාජයෙන් කරපු වැරදි වලට සමාවක් හම්බ වුණේ. එහෙමයි අතීත නීතිය සහ සම්ප්‍රදාය ඇතුලේ වරදකරුවෙකු පුනරුත්ථාපනය වුණේ. මේ ගැන සවිස්තර වාර්තාවක් සිංහල නීතිය ගැන හදාරන්න ආව ඉංග්‍රීසි ජාතිකයෙකුගේ වාර්තාවක තියෙනවා. (අතුරු කතාව නිමි)

ඒ සියළු දේවල් වලට වඩා බරපතල කාරණය තමයි මහා වෙහෙර විහාර හැදුවේ අපේ ශිෂ්ඨාචාරය දියුණුවේ හිනි පෙත්තට ගිය කාල වලදී. අපි දන්නවා මේ දූපත අතුලෙ අපේ ශිෂ්ටාචාරය ඉතා ඉහළ මට්ටමකට සංවර්ධනය වුණු කාල වලදී තමයි රජවරු විවිධ කාරණා මූලික කරගනිමින් මහ විශාල වෙහෙර විහාර හැදුවේ. ධන ධාන්‍යයෙන් සශ්‍රීක උනාට පස්සේ තමයි අතීත බෞද්ධයා අවුරුදු සිය ගණන් පවතිව විහාර කර්මාන්ත කළේ. අදටත් නටඹුන් විදියට තියෙන්නේ එවැනි යුග වල ඉදි කරපු වෙහෙර විහාර.

ස්වාභාවික උපද්‍රව ඇවිත්, සතුරු ආක්‍රමණ ඇවිත් ශිෂ්ඨාචාරය බිඳවැටිලා (බංකොලොත් වෙලා) හිටපු කාල වකවානු වල අතීතයේ මිනිස්සු කළේ මහන්සි වෙලා තමන්ගේ ශිෂ්ඨාචාරය නැවත ගොඩනගපු එක. තාම සමහර තැන්වල දකින්න තියන, එහෙම කාල වල ඉවර කරගන්න බැරි වුණ වෙහෙර විහාර, බාගෙට කෙටූ පිළිම වලින් කියවෙන්නේ කටුව මිටිය අතහැරලා කඩුව, හෙල්ලය හෝ කැත්ත උදැල්ල අතට ගත් බව. එදා මිනිස්සු තමන්ගේ ප්‍රමුඛතා හරියට අඳුරගත්තා කියන්න ඒකෙන් පැහැදිලියි. කෘෂි කර්මාන්තයට සහ වාරි කර්මාන්තයට තමයි එවැනි යුග වලදී වැඩි අවධානයක් යොමු කළේ. එහෙම කාල වලදී හාමුදුරුවරු ඒ වැඩ වලට උදව් වුණා මිසක් “අනේ උපාසක මහත්තයෝ අපේ විහාරෙට වෙහෙරක් නෑ. බැරිද ඔය වෙන වැඩ නවත්තලා ගමේ කට්ටිය එක්කහු කරගෙන ඇවිත් ගඩොල් ටිකක් කපලා වෙහෙරක් බඳින්න?” කියලා කියන්න නැතුව ඇති. මොකද, බෞද්ධයා ආර්ථිකව පිරිහුනාම සාසනය හැඳිගෑවිලා යනවා කියන එක තේරුම් ගන්න ආයෙ අමුතුවෙන් ඥාණයක් අවශ වෙන්නේ නැති නිසා.

හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් හාමුදුරුවරු බහුතරයක් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට හෙණ ගහපං කියලා ලෝකෙ වටේ සම්මාදමක් දාලා, පන්සලේ අත්‍යාවශ නොවන මහා විශාල ගොඩනැගිලි හදන එක, ළඟපාත කඳු ගැටයක් පේන්න තිබ්බොත් ඒක මුදුනේ තරඟෙකට වගේ වෙහෙරක්, බුදුපිළිමයක් හදන එක තමයි ප්‍රධාන රාජකාරිය කරගෙන තියෙන්නේ. වෙන කාලෙක නම් කමක් නෑ, මේ රට බංකොලොත් වෙලා හැඳිගෑවිලා තියෙන මේ වෙලාවෙත් මහා වෙහෙර විහාර හදන එක තරම් අණුවනකමක් තියෙනවද?

මෙයාලා මේ කරන්නේ බෞද්ධයා සතු ධනය ගඩොල් ගොඩවල් වල හිර කරන එක. ඒව එසේ මෙසේ ධනස්කන්ධයක් නෙමෙයි. මේ ඊයෙ පෙරේදා දැක්කා තමන්ගේ හරකා වෙනුවෙන් කෝටි දෙකක් වියදම් කරලා මනුස්සයෙක් චෛත්‍යයක් හදලා. ඒ මනුස්සයා ඒක කරන්න ඇත්තේ ඉතාම යහපත් චේතනාවෙන් සහ ශ්‍රද්ධාවකින්. ඒත් ප්‍රඥාවන්තව හිතන්න පුළුවන්කමක් තිබ්බා නම් මේකේ අවුල තේරෙන්න ඕන.

සාසනය රැකෙන්නේ බෞද්ධ ප්‍රජාව ආර්ථිකව ශක්තිමත් නම් විතරයි. දවසක් ලංකාවේ ප්‍රධාන දේශකයන්වහන්සේ කෙනෙක් සමඟ අපි කීප දෙනෙක් සාකච්ඡාවක් කරන අතරතුර ඇහුවා “හාමුදුරුවනේ, දැන් හාමුදුරුවරු ගිහියන්ට නිතරම, සියල්ල අත්හරින්න, ධනය හම්බ කරලා වැඩක් නෑ, අන්තිමට දුක විතරයි අරක මේක කිය කියා බෞද්ධයින්ව ලෞකික දියුණුවෙන් ඈත් කරන බණමයි කියනේ. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මී කුණෙනුත් ඕන නම් මනුස්සයෙකුට දියුණු වෙන් පුළුවන් කියල. හැබැයි දැන් කාලෙ හාමුදුරුවරු කියන්නේ සම්පූර්ණ පරස්පර කතාවක්. දැන් ඔහොම ගිහිල්ලා බෞද්ධයෝ ලෞකිකව පිරිහුණාම ඒ මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව දියුණුව ගැන හිතන්න වෙලාවකුත් නැති වෙනවා, සාසනික දියුණුව වෙනුවෙන් ධන පරිත්‍යාග කරන්නත් බැරි වෙනවා නේද?” කියලා. ඒ ස්වාමීන්වහන්සේත් ඒකට එකඟ වෙලා ” එහෙම කියල තියනවා, නමුත් මින් පස්සේ එහෙම කියන්නේ නෑ. ඒ කතාව ඇත්ත” කියලා පිළිගත්තා.

ඉතිං හාමුදුරුවනේ, බංකොලොත් රටක් බංකොලොත් බෞද්ධයෝ ටිකක් එක්ක සාසනය රැකගෙන ඉස්සරහට ගෙනියන්න බෑ. ඔය හදන මහා බුදුපිළිම, චෛත්‍ය විසින් සාසනය රකින්නේ නෑ. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න. ඔය මහා ධනස්කන්ධයන් ගඩොල් වල හිර කරනවට වඩා ඒ ධනය ආයෝජනය කරන්න කියලා කියන්න රට බංකොලොත්භාවයෙන් ගොඩ ගන්න පුළුවන් ආර්ථික ක්‍රියාවලියක. මිනිස්සුන්ට රස්සා ලැබෙන ව්‍යාපාරයක්, විදේශ විනිමය උපයන්න පුළුවන් කර්මාන්තයක්, වගාවක් වෙනුවෙන් ඔය මුදල් ආයෝජනය කරන්න කියන්න තමන්ගේ දායක දායිකාවන්ට. අඩුම තරමේ තමන්ගේ ධනයෙන් පිනක් කරගන්නම ඕන නම් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන ඉස්පිරිතාල වලට බෙහෙත් ටිකක් අරන් දෙන්න කියන්න. එහෙම නැත්නම් දුප්පත් ළමයින්ගේ අධ්‍යාපනයට වියදම් කරන්න කියන්න. ඒව කියල දීල බෞද්ධයින්ගේ නැතිවුනු ප්‍රඥාව අවදි කරන්න.

අනිත් පැත්තෙන් ගත්තාම, කඳු මුදුන් වල වෙහෙර විහාර විතරක් නෙමෙයි ගෙවල් දොරවල් හදන එකත් වැරදියි. මොකද රජරට වාරි ශිෂ්ඨාචාරයටත් වඩා දැන් අපිට කඳු මුදුන්, ජල පෝෂක වටින කාලයක්. මහවැලි කලාප වලට වගේම, ජල විදුලිය නිශ්පාදනයටත් මධ්‍යම කඳුකරයේ ජල පෝෂක සංරක්ෂණය ඉතා වැදගත්. කාට හරි හිතෙන්න පුළුවන්, “ඉතිං හන්තානෙ කන්ද මුදුනේ චෛත්‍යයක් හැදුවා කියලා ජල පෝෂක වලට මුකුත් වෙන්නේ නෑනේ?” කියලා. එකක් තමයි මධ්‍යම කඳුකරයේ ඕනෑම කන්දක් ආශ්‍රිතව කුඩා සහ ක්ෂුද්‍ර ජල පෝෂක (micro and nano watersheds) පවතිනවා. ඒවයේ ආරම්භය බොහෝ විට ඒවැනි කඳු මුදුනක පිහිටන කුඩා පරිසර පද්ධතියක්. මධ්‍යම කඳුකරයේ නම් මීටර් 1000ට වැඩි උසකින් යුත් කලාපයේ montane සහ sub-montane පරිසර පද්ධති වලින් තමයි මේ ජල පෝෂක හැදෙන්නේ. හන්තාන කියන්නෙත් මීටර් 1000ට වඩා ඉහල මට්ටමේ කන්දක්. ඉතින් මේ කලාපයේ මානව ක්‍රියාකාරකම් වැඩි වෙන ආකාරයේ ක්‍රියා වලින් සිද්ධ වෙන්නේ අපි කාටවත් එච්චර ඇස නොගැටෙන, නොවැදගත් යැයි සිතෙන එවැනි ක්ෂුද්‍ර ජලපෝෂක සිය ගණනක් විනාශ වෙලා යන එක. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියල හිතෙන්න පුළුවන්, නමුත් එවැනි ක්ෂුද්‍ර ජල පෝෂක සිය ගණනක් අතුරැදන් වූ විට එහි දාම ක්‍රියාවලියක් වශයෙන් ඊට වඩා විශාල ජල පෝෂක සහ පරිසර පද්ධති ගණනාවක් අපි නොදැනුවත්වම විනාශවෙලා යන්න පුළුවන්. සමහර විට ඒක ජලය කියුබික් මීටර දහස් ගණනක් වෙන්න පුළුවන්. එයින් නිපදවූ ජල විදුලි ඒකක සිය ගනනක් වෙන්න පුළුවන්. එයින් අස්වැද්දූ කුඹුරු අක්කර සිය ගනනක් වෙන්න පුළුවන්. එයින් නිපදවූ සහල් කිලෝ දහස් ගණනක් වෙන්න පුළුවන්. අවසානයේ එනිසා අහිමි වූ ආර්ථික හානිය, විදුලි ඒකක නිශ්පාදනයට ආනයනය කිරීමට සිදුවූ බොරතෙල් සඳහා ගෙවීමට සිදුවූ රුපියල් මිලියන ගණනක් වන්න පුළුවන්. අස්වැන්නෙන් අහිමි වූ සහල් ආනයනයට ගෙවූ රුපියල් මිලියන ගණනක් වෙන්න පුළුවන්.

අන්න ඒ නිසා උත්පත්තියෙන් බෞද්ධයෙකු වූ පලියට බෞද්ධ වේශයෙන් සිදු කරන ඕනෑම අඥාන වැඩක් වෙනුවෙන් පෙනී සිටින්න එපා. ප්‍රඥාව අවධිකොට සිතන්න.

CATEGORIES
TAGS
Share This