
තාත්තාගෙන් පුතාට කොන්ඩම් එකක්….
“පුතා වැඩකද ඉන්නේ…?” “නැහැ තාත්තේ කියන්න”
“මාත් එක්ක ටවුන් එකට පොඩ්ඩක් යමුද, බඩු වගයක් තියෙනවා ගන්න”
“හරි තාත්තේ මට විනාඩියක් දෙන්න. ටී-ෂර්ට් එකක් දාගෙන එන්නම්”
පුතා එනකම් මම එදා වාහනේට වෙලා බලාගෙන හිටියේ ටිකක් කලබල ගතියකින් මොකද මට ඒ වෙලාවේ ඇත්තට ඕන වුණේ පුතත් එක්ක මධු නැති තැනක තනියම පොඩ්ඩක් කතා කරන්න. මම මේ කරන්න හදන දේ හරි දෙයක් වුණත්… හිතට දැනෙන චකිතය මට නවත්තගන්න බැරි වුණා. මොකද මේ දේ පුතා දැනගත්තට පස්සේ එයා මං ගැන මොනා හිතයිද… එයා, මම මේ කියනදේට කොහොම රියැක්ට් කරයිද කියන ප්‍රශ්නේ මම මගෙන්ම කිහිපසැරයක් ඇහුවා. ඒත් මම මෙහෙම කල්පනා කර කර ඉද්දී එකපාරම වාහනේට ඇවිත් නැඟපු ඉවාන්,
“හරි තාත්තේ යමු. මොනාද ගන්න තියෙන්නේ…”
“පොඩි බඩු වගයක්… යමුකෝ මම කියන්නම්”
පුතා එක්ක ගෙදරින් පිටත් වුණාට පස්සේ එයා හිටියේ කාත් එක්කද ෆෝන් එකෙන් මැසේජ් කර කර වෙන ලෝකෙක… මම ඉවාන් දිහා කිහිපසැරයක්ම බැලුවත් මිනිහා හිනාවෙවී ෆෝන් එක දිහා බලාගෙන දිගටම මැසේජ් යවනවා.
“කව්ද ගර්ල්ෆ්‍රෙන්ඩ්ද ?”
“ආ…”
“ගර්ල්ෆ්‍රෙන්ඩ්ද මැසේජ් කරන්නේ ?”
“නැහැ මගේ යාළුවෙක්, මට එහෙම කෙනෙක් නැහැ”
පුතා එහෙම කිව්වට පස්සේ මුකුත් නොකියා ලාවට හිනාවුණු මම, පාර අයිනේ වාහනේ නවත්තලා පුතා දිහා බැලුවම මිනිහා හිටියේ බයවෙලා,
“මම දැක්කා ගිය සතියේ පුතාව, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් හෝල් එකක් ලඟ හිටගෙන ඉන්නවා”
“මම… නැහැ තාත්තේ වෙන කවුරුහරි වෙන් ඇති. මට එහෙම කවුරුත් නැහැ”
“මාත් එක්ක බයවෙලා වගේ කතා කරන්න එපා ඉවාන්. මම ඔයාගෙන් ඒක අහන්නේ ඔයාට බනින්න නෙමෙයි. ඔයා මේ ඉයර් එකේ ඒලෙවල් ලියන්න ඉන්න ලොකු පිරිමි ළමෙක්. දැන් ඔයාට වයස 19යි. පුතා දන්නවද වයස 18න් මැරී කරන්නත් පුළුවන්… එහෙම එකේ ඔයාගේ වයසේ පිරිමි ළමෙක්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන එක මට අමුතු දෙයක් නෙමෙයි. මොකද මමත් මේ වයසට ආවේ පුතාගේ වයස පහුකරලා”

මම එහෙම කිව්වට පස්සේ දරුවා හිටියේ බිම බලාගෙන මුකුත් නොකියා,
“පුතා නේද ෆිල්ම් හෝල් එක ලඟ හිටියේ ?”
“ඔව්…”
“ඒ දරුවා… පුතාගේ ක්ලාස් එකේ ළමෙක්ද ?”
“නැහැ එයා Bio කරන්නේ”
“වෙනදටත් ඔහොම ක්ලාස් කට් කරලා දෙන්නත් එක්ක ඇවිදින්න යනවද ?”
“නැහැ… එදා තමයි මුලින්ම ගියේ”
පුතා එහෙම කිව්වට පස්සේ හිනාවෙලා පුතාගේ ඔළුව අතගාපු මම,
“පුතා දන්නවද… මම ඒලෙවල් ලියද්දී ගර්ල් කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා. එයයි මමයි, මං හිතන්නේ… 20 පාරකට වැඩියෙන් ක්ලාස් කට් කරලා එහේ මෙහේ ගිහින් ඇති. කොහොම හරි අන්තිමට මං ෆේල් වුණා. දෙවනි සැරේ ලියලා තමයි යන්තමින් කැම්පස් යන්න පාස් වුණේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න ගියාට කමක් නැහැ. ඒත් එක්සෑම් අවුල් කරගන්න එපා. පුතාට මතකද ඇන්තනී අංකල්ව, අර ගිටාර් ප්ලේ කරේ…”
“ඔව් තාත්තේ… මට මතකයි. මං 7 වසරේදී අංකල් කැන්සර් එකකින් නැතිවුණානේ”
“ඇන්තනී නැති වුණේ කැන්සර් එකකින් නෙමෙයි පුතා. ඇන්තනී නැතිවුණේ HIV හැදිලා. අපි ලඟම කිහිපදෙනෙක් විතරයි ඒක දන්නේ… ඒත් අනිත් හැමෝටම අපි කිව්වේ කැන්සර් එකකින් නැති වුණා කියලා” එහෙම කියපු මම තවත් හිතන්නේ නැතුව වාහනේ ලොකර් එක ඇරලා පුතාට දෙන්න හිතාගෙන ආපු දේ එළියට අරගෙන එයාගේ අතට දුනා.
“මොකක්ද මේ…”
“ඔයාම ඇරලා බලන්න”
“ඇයි තාත්තේ මේ…?”

“ඕක හැමවෙලේම ලඟ තියාගන්න පුතා. ඔයා දැන් ලොකු පිරිමි ළමෙක්නේ… මම ඕක ඔයාට දෙන්නේ මට ඔයාව විශ්වාස නැති නිසා නෙමෙයි. ඒත් පුතා දැන් ඉන්න වයසේදී හිතලා දෙයක් කරනවට වඩා හිතට එන හැඟීම් වලට ඉඩදෙනවා වැඩියි. පුතා විතරක් නෙමෙයි පුතාගේ වයසේ ඉන්න හැම ළමෙක්ම එහෙමයි. මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙයක් මේ ලෝකේ තියෙද්දී… ඒ දේ පාවිච්චි නොකර, මිනිස්සු අද කොච්චර අමාරුවේ වැටෙනවද… පුතා දන්නවනේ අද සමාජේ වෙන දේවල්, මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..”
“මම ආයිත් ක්ලාස් කට් කරන්නේ නැහැ තාත්තේ”
“වෙරි ගුඩ්… දෙන්නත් එක්කම එකතුවෙලා හොඳට පාඩම් කරන්න. ආදරේ කරන්න ඕන වයසේදී ආදරේ කරන්න ඕනේ… ඒක වැරැද්දක් නෙමෙයි. ඒ වගේම ජීවිතේ හදාගන්න ඕන දේවල් ටිකත් ආදරේ එක්කම කරන්න ඕනේ. දවසක මට අර දරුවව ඉන්ට්‍රෝඩියුස් කරන්න. මොකක්ද එයාගේ නම ?”
“ද්‍රිති”
“ද්‍රිති… ලස්සන නමක්”
“තාත්තා දන්නවද…. එයා තාත්තගේ ෆිල්ම්ස් වලට මාර ආසයි. මට හැමදාම කියනවා තාත්තව මීට් කරන්න කියලා”
“එහෙමද… ඉතින් දවසක ඒ ළමයට ගෙදරට එන්න කියලා ඉන්වයිට් කරන්න”
“කමක් නැද්ද තාත්තේ…”
“කමක් නැහැ… ඔයා ඉන්වයිට් කරන්න”
“හරි එහෙනම් මම කියන්නම්”
“අපි ගෙදර යමුද එහෙනම්…”
“ඇයි අර බඩු වගයක්…”
“ඒක මම බොරුවට කිව්වේ. ඔයත් එක්ක තනියම ටිකක් කතාකරන්න ඕනේ නිසා. ඕක ගැන අම්මට කියන්න එපා. හංඟගෙන තියාගන්න. නැත්නම් මට ගෙදරින් යන්න තමයි වෙන්නේ… දන්නවනේ අම්මගේ හැටි…”
(පසු දින)
“හෙලෝ… මේ මිසිස් අබේනායකද ?”
“ඔව්… කවුද මේ ?”
“මිසිස් අබේනායක. මම ජනාධිපති විද්‍යාලයේ ප්‍රින්සිපල් කතාකරන්නේ. මිසිස් අබේනායකට පුළුවන්ද ස්කූල් එකට දැන් පොඩ්ඩක් එන්න. ඉවාන් සම්බන්ධව පොඩි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා”
“ඇයි සර් මොකක්ද වුණේ…?”
“මිසිස් අබේනායක එන්න. අපි ආවට පස්සේ කතා කරමු. මෙහෙම ෆෝන් එකෙන් කතා කරන්න බැහැ. තව දෙයක් මිසිස් අබේනායක, තනියම එන්න ඉවාන්ගේ තාත්තව එක්කගෙන එන්න එපා”
“ඒ ඇයි සර්… මට කියන්න මොකක්ද වුණේ ?”
“මිසිස් අබේනායක කලබලනොවී එන්න. අපි ආවට පස්සේ කතාකරමු”
මම ඒ වෙලාවේ හිටියේ අළුත් පිටපතක් ලිය ලිය… මේ කිසිම දෙයක් දන්නේ නැති මම පිටපත ලිය ලිය ඉද්දී රූම් එකට ආපු මධු,
“සමීර ඔයා දැන් එළියට යනවද ?
“නැහැ, ඇයි ?”
“මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්. බඩු වගයක් ගන්න තියෙනවා. කාර් එකේ කී එක දෙන්න මට”
“ඕන්නම් මමත් එන්නම්”
“නැහැ එපා. මම ගිහින් එන්නම් ඉක්මණටම…”
“ඇයි මේ සාරි ඇඳලා”
“නැහැ, පන්සලටත් පොඩ්ඩක් යන්න ඕනේ, දානෙට දිනයක් වෙන්කරගන්න”
“ෂුවර්ද මම එන්න ඕනේ නැහැ කියලා”
“මට පුළුවන්… ඔයා ඔය වැඩේ කරන්නකෝ. මම ඉක්මණටම එන්නම්”
මධු ඒ වෙලාවේ මාත් එක්ක කිසිම දෙයක් නොවුණු ගාණට කතාකරත් එයා ආයිත් පැය තුනකට පස්සේ පුතත් එක්ක ගෙදර ආවේ, මම එයාගෙන් කවදාවත් දැකපු නැති කේන්තියක් එක්ක,
“පුතාව ඔයාට කොහෙදීද හම්බුණේ… අද ස්කූල් නැද්ද ?” මම මධුගෙන් එහෙම ඇහුවත් පුතා දිහා බලපු මධු,
“ඉවාන් ගිහින් ඉක්මණට ඇඳුම් ටිකයි, පොත් ටිකයි ලෑස්ති කරගන්න. අපි මේ ගෙදර තවත් ඉන්නේ නැහැ”
“මධු ඇයි මේ මොකද වුණේ…?”
“මොකද වුණේ….” කියපු මධු එයාගේ හෑන්ඩ් බෑග් එකෙන් මම පුතාට දීපු කොන්ඩම් පැකට් එක එළියට අරගෙන මගේ මුහුණට දමාලා ගැහුවා.
“පුතාගේ ස්කූල් ටූ වීක්ස් වලට සස්පෙන්ඩ් කළා. මම හිතුවේ නැහැ සමීර ඔයා මේ වගේ මානසික ලෙඩෙක් කියලා” මධු මට බනිද්දී, බයවෙලා ඉන්න ඉවාන් දිහා බලපු මම,
“පුතා ඇයි මේක ස්කූල් ගෙනිච්චේ…”
“ඉවාන් මම කිව්වනේ… ආයිත් තාත්තා එක්ක කතාවක් නැහැ. ගිහින් ඇඳුම් ටික ලෑස්ති කරගන්නවා ඉක්මණට මෙතන හිටගෙන ඉන්නේ නැතුව”
“මධු ඇයි ඔයා මේ කලබල වෙලා. අපි මේක හිමීට කතාකරමු”
“තවත් මොනා කතා කරන්නද… සමීර ඔයාට මේ ලෝකේ හදන්න ඕනේ නම් ඒක ඔයාගේ ෆිල්ම්ස් ඇතුළේ කරගන්න. මගේ අහිංසක පුතාව ඒකට ගාවගන්න එපා”
“හරි දැන් ඔය කොහෙද යන්න හදන්නේ, ගෙදරින් යන්න තරම් දෙයක් වුණේ නැහැනේ මෙතන”
“මට මේ දරුවව තවත් ඔයා ලඟ තියන්න බැහැ. මම දන්නේ නැහැ ඔයාගේ හිතේ මොනා තියෙනවද කියලා”
“මධු මොනාද ඔයා මේ කියවන්නේ, පිස්සුද… මේ මගෙත් පුතානේ”
“සමීර… මටයි පුතාටයි පාඩුවේ යන්න දෙන්න. ඇත්තම කිව්වොත් මට ඔයා වගේ මනුස්සයෙක් එක්ක කතා කරන්න දෙයක් නැහැ”
“හරි ඔයාලා දෙන්නා ගෙදර ඉන්න කොහෙවත් යන්න එපා. මම යන්නම්… ඉවරනේ ප්‍රශ්නේ එතකොට”
මම මධුට එහෙම කිව්වත් එයා ගත්ත තීරණේ එයා වෙනස් කළේ නැහැ. ඉවාන් ඇස් වල කඳුළු පුරවගෙන මධු එක්ක ගෙදරින් ගියේ. හිතපු නැති වෙලාවක කුණාටුවක් ආවා වගේ මගේ ජීවිතේ මම මෙච්චර කල් බලාගත්තු හැමදේම මොහොතකින් උඩු යටි පෙරළුනා. මම මේ දේ මධුට තේරුම් කරන්නේ කොහොමද… පුතාගේ ස්කූල් එකේ ටීචර්ස්ලට, ප්‍රින්සිපල්ට තේරූම් කරන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දී මගේ ෆෝන් එක අඳුරන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එකක් නිසා රින් වුණා.
“හෙලෝ…”
“හෙලෝ… මේ ෆිල්ම් ඩිරෙක්ටර් සමීර අබේනායකද ?”
“ඔව්, කියන්න…”
“ඇත්තද මිස්ටර් සමීර පුතාට කොන්ඩම් පැකට් එකක් දුන්නා කියන කතාව”
“කව්ද මේ කතා කරන්නේ…?”
“අපි ගොසිප් සයිට් එකකින්… මිස්ටර් සමීර කැමති නම් අපි ඒ ගැන ඉන්ටර්වීව් එකක් කරමුද ෆෝන් එකෙන්”
“මේ තියනවා අයිසේ ෆෝන් එක, තමන්ගේ වැඩක් බලාගන්නවා”
මම කේන්තියෙන් කෝල් එක එහෙම කියලා කට් කළත් ජීවිතේ පළවෙනි වතාවට මම අඳුරන, මම දන්නේ නැති නම්බර්ස් වලින් කෝල්ස් එක දිගට එන්න පටන්ගත්තේ… හරියට පායානේ නැති වැස්සක් එක දිගට වහිනවා වගේ. අන්තිමට ෆෝන් එක දිගටම රින් වෙන සද්දේ වදයක් වුණු මම… ෆෝන් එක සයිලෙන්ට් දාලා තවමත් මධු ගියාට පස්සේ වාඩිවුණු තැනම වාඩිවෙලා හවස් වෙනකම්ම මේ වුණුදේ ගැන හිතන්න පටන්ගත්තා. හවස මම මධූට කෝල්ස් ගත්තත්, එයා මගේ එක කෝල් එකක්වත් ආන්සර් කළේ නැහැ. පුතාගේ ෆෝන් එකත් ඕෆ්. ඒත් ඉවාන් මට මැසේජ් එකක් දාලා තිබ්බා.
“තාත්තේ අපි ආච්චිගේ ගෙදර ආවා. ඔයා බයවෙන්න එපා. අම්මගේ කේන්තිය අඩු වුණාම මම අම්මත් එක්ක එන්නම්”
පුතා එහෙම කිව්වත් දවසින් දවස මේ ප්‍රශ්නේ සෝෂල් මිඩියා වල මං ගැන මිනිස්සු කියපු ජරා කතා නිසා තවත් වැඩි වුණා. අන්තිමේදී ළමයි සම්බන්ධ සංවිධානෙකින් පොලිස්සියේ මං ගැන දාපු පැමිණිල්ලක් නිසා… මම මගේ පුතාටම අපචාරයක් කරන්න හැදුවා කියන පැමිණිල්ලට, මට කට උත්තර දෙන්නත් යන්න වුණා. අදට මේ සිද්දිය වෙලා සති දෙකකටත් වැඩියි. ජීවිතේ හැමදෙයක්ම අවුල් වුණු මම හිත හිත ඉද්දී… මම හිතපු නැති වෙලාවක මධු මට කෝල් කළා. ඒත් එක්කම කලබලේට ෆෝන් එක ආන්සර් කරපු මම,
“හෙලෝ මධු…”
“සමීර මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ”
“හරි මම අම්මගේ ගෙදෙට්ට එන්නම්”
“නැහැ… ඔයා එන්න අවශ්‍ය නැහැ. සමීර අපි දෙන්නා ඩිවෝර්ස් වෙමු”
“පිස්සුද ඔයාට මොනාද මේ කියන්නේ. මේ වගේ පොඩි ප්‍රශ්නයක් නිසා මිනිස්සු ඩිවෝර්ස් වෙනවද ?”
“ඔයාට මේක පොඩි ප්‍රශ්නයක්ද ?
අර දරුවා ඊයේ ලැජ්ජාවෙන් ස්කූල් ගියේ. ගෙදර ඇවිත් මාව බදාගෙන ඇඬුවා ආයිත් ස්කූල් යන්න බැහැ කියලා”
“හරි මම ස්කූල් එකට ගිහින් කතාකරන්නම්”
“අනේ සමීර… මම ඔයාට වැඳලා කියන්නම්. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. මගේ පුතාගේ ජීවිතේ තවත් අවුල් කරන්න එපා”
“මධු ඒ අපි දෙන්නාගේම පුතා”
“ප්ලීස් මට ඩිවෝර්ස් එක දෙන්න සමීර. මම ඔයාට ඒක කියන්න ගත්තේ… මම තියනවා”
ඉවාන්… මධුව බදාගෙන ස්කූල් යන්න බැහැ කියලා ඇඬුවා කිව්වාට පස්සේ, මගේ හිතට දැණුනු දුක මෙච්චරයි කියලා කියන්න මට වචන තිබ්බේ නැහැ. මම මගේ දරුවගේ ජීවිතේට කළේ ලොකු වැරැද්දක් කියන හැඟීම විතරයි මගේ හිතට දැණුනේ. ඒත් එක්කම මගේ ෆෝන් එක ආයිත් කෝල් එකකින් රින් වුණා.
“හෙලෝ කමල්…”
“සමීර ඔයා කොහෙද ඉන්නේ”
“ගෙදර…”
“පුතා කෝ..?”
“පුතා ස්කූල් ගිහින් ඇති දැන්නම්”
“සමීර ඔයා, මම මෙහෙම කිව්වා කියලා කලබල වෙන්න එපා”
“ඇයි මොකක්ද වුණේ කමල්…”
“ඉවාන් යන ස්කූල් එකේ පිරිමි ළමෙක්… ස්කූල් එක ඇතුළේම ස්විසයිඩ් කරගෙනලු. මටත් මේ දැන් නිව්ස් එක ආවේ”
මට ඇහුණේ ඒ වචන ටික විතරයි. මගේ මුළු ඇඟම වෙව්ලන්න පටන්ගත්තා. මට මතක නැහැ මම ස්කූල් එකට වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවේ කොහොමද කියලවත්. කාර් එක ස්කූල් එක ඉස්සරහා නවත්තදීත් ස්කූල් එක ඉස්සරහා පොලිස්සියෙන්… මම පොලිස්සියට අඬ අඬ කිව්වත් මට ඇතුළට යන්න දෙන්න කියලා පොලිස්සියෙන් මට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒත් එක්කම මගේ ලඟට ආපු ඉවාන්ගේ යාළුවෙක්,
“සමීර අංකල්, ඒ ඉවාන් නෙමෙයි. බයවෙන්න එපා…”
(නැවතත්)
“අපි එහෙනම් පටන් ගමුද ?”
“හරි…”
“ගමු දයාන්…”
“කැමරා රෝලින්, සවුන්ඩ්… ඇක්ෂන්”
“වෙනදා වගේම අදත් අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ හැමෝම හොඳින් දන්න කියන්න ප්‍රසිද්ධ චරිතයක්. මොහු වෘත්තියෙන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර-රචකයෙක්… ඒත් මොහු ගැන මෑත කාලයේදී වෙනත්ම මාතෘකාවක් නිසා හැමෝම කතාකරන්න පටන්ගත්තා. අපි ඒ ඇයි කියලා වැඩසටහන අතරතුරේදී කතා කරමු.
“ආයුබෝවන් සමීර…”
“අයූබෝවන්…”
(විනාඩි කිහිපයකට පසු)
“හැමෝම බලාගෙන ඉන්න දෙයක් ගැන මම දැන් සමීරගෙන් අහන්න යන්නේ… මම හිතනවා, බලාපොරොත්තු වෙනවා සමීර මට ඒකට කෙලින්ම උත්තරයක් දෙයි කියලා.
මේ කොන්ඩම් කතාව ඇත්තක්ද ?”
“ඇත්තක්…”
“දැන් ප්‍රශ්නේ ඉවරද ?”
“බොහෝ දුරට ඉවරයි සම්පත්… රටේ මිනිස්සු මං ගැන මොනා හිතනවද කියලනම් මම දන්නෙ නැහැ. ඒත් මගේ නිවස තුළ තිබුණු ප්‍රශ්නේ නම් විසඳිලා ඉවරයි. අවාසනාවකට ඒ දේ විසඳුනේ ලංකාවේ ප්‍රධාන පාසල් දෙකක ළමයි දෙන්නෙක් එකම දවසේ තමන්ගේ ජීවිතේ නැති කරගත්ත නිසා… ගැහැණු ළමෙකුයි, පිරිමි ළමෙකුයි ආදරේ කළා. ඒත් ඒ ආදරේ නිසා අර ගැහැණු දරුවා ප්‍රෙග්නට් වුණා. අන්තිමට ඒ ප්‍රශ්නේට, මේ ලෝකෙට මුහුණ දෙන්න තිබ්බ බය නිසාම ඒ අහිංසක ළමයි දෙන්නා එකම දවසේ ජීවිතේ නැති කරගත්තා. අන්තිමට ඒ අවාසනාවන්ත සිදුවීම නිසාම මගේ බිරිඳ තේරුම් ගත්තා… මම මගේ පුතාට කළේ වැරැද්දක් නෙමෙයි කියලා”
“ඒ කියන්නේ සමීර පිළිගන්නවා. තවම පාසල් යන ඔයාගේ පුතාට කොන්ඩම් පෙට්ටියක් දීපු එක වැරැද්දක් නෙමෙයි කියලා”
“100%ක්ම…”
“ඒත් අපේ සංස්කෘතියට ඒ දේ ගැළපෙන්නේ නැහැනේ සමීර..”
“සම්පත් ඔයා මේ මීඩියා ෆීල්ඩ් එකේ මටත් වඩා ප්‍රවීණයෙක්… රෑට පොඩ්ඩක් නිවුස් බලන්න. මව දරුවන් සමඟ සියදිවි නසාගනී, පියා දරුවන් හා බිරිඳව ඝාතනය කර සියදිවි නසාගනී. එහෙම නැත්නම් මවගෙන් දරුවාව පැහැරගෙන ගිය පියා පොලිස් වෙඩි පහරින් මරුට… මේ නිව්ස් වල ඉන්න දෙමව්පියන්ගේ වයස 80%ක්ම අවුරුදු 25ට අඩුයි. ආදරේ කරලා ළමෙක් ලැබෙන්න ආපු නිසා අකමැත්තෙන්ම කසාදයක් කරගෙන ජීවිතේ මිනිස්සු කොච්චර නාස්ති කරගන්නවද… එහෙම නැත්නම් ලිංගික අසහනේ නිසා, ඒ ආශාවල් හොයාගෙන ගිහින් කොච්චර මිනිස්සු සමාජරෝග හදාගන්නවද… මේ රටේ නීතියට හොරෙන් දවසකට කොච්චර ඇබෝෂන් වෙනවද ?
ඇයි අපි මේ දේවල් නවතන්න පුළුවන් ක්‍රමක් තියෙද්දී… ඒ දේවල් නිසි වයසට ආපු අපේ ළමයින්ට කියලා නොදෙන්නේ”
“සමීර ඔහොම කිව්වට, ඔය වගේ දෙයක් දරුවෙක්ට දුන්නට පස්සේ එයාලගේ හිත්වල අපිට තියෙන ගෞරවේ නැති වෙනවනේ…”
“එහෙම වෙන්නේ නැහැ සම්පත්, ළමයින්ට දෙමව්පියෝ ගැන තියෙන ගෞරවේ නැතිවෙන්නේ… ඒ ළමයි ඉස්සරහා අපි මත් පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවනම්… එහෙමත් නැත්නම් ගෙදර බිරිඳ හෝ සැමියා ඉද්දී අනියම් සැමියෙක්, අනියම් බිරිඳක් හොයාගන්නවනම්… ළමයි ඉස්සරහා සත්තු වගේ ගහ බැන ගන්නවනම් තමයි ළමෙක්ට දෙමව්පියෝ ගැන තියෙන ගෞරවේ නැතිවෙන්නේ. ජීවිතේට වැදගත් වෙන දෙයක් ළමෙක්ට කියලා දුන්නා කියලා… දැන් ඉන්න ළමයි අපි ගැන වැරදියට හිතන්න තරම් මෝඩ නැහැ”
“සමීරට ගැහැණු දරුවෙක් හිටියනම් සමීර මේ දේ එයාටත් දෙනවද ?”
“අනිවාරෙන්ම… ගැහැණු ළමෙක් වැඩිවියට පත්වුණාම, දෙමව්පියෝ ණයක් වෙලා හරි ඒ දරුවගේ කණට කරාඹු දෙකක්, කරට මාලයක් දානවා. ඇයි අපි ඒ දරුවගේ ජීවිතේ ආරක්ෂාවට මේ වගේ දෙයක් දෙන්නේ නැත්තේ… අපි යුතුකමක් විදිහට වැඩිවියට පත්වෙන ගැහැණු දරුවන්ට මේ දේ අනිවාරෙන්ම දෙන්න ඕනේ, මොකද තරුණ වයසේ ළමයි අනාගතේ ගැන හිතනවට වඩා ඒ මොහොතේ එන හැඟීමට ඉඩදෙන අවස්ථා වැඩියි. මේ වගේ රටක තරුණ වයසේ ළමෙක්ට ජීවිතේ වැරදුණා කියන්නේ සදාකාලික වරදක් සම්පත්, සමාජෙන් කීයටවත් ඒ ළමයට ආයිත් ජීවිතේ පටන්ගන්න ඉඩදෙන්නේ නැහැ”
“සමීර කොච්චර උදාහරණ ඉදිරිපත් කළත් අපේ රටේ ඉන්න මිනිස්සු… සමීර කියන දේ පිළිගනීද ?”
“ඒක එයාලගේ තීරණයක් සම්පත්. හැබැයි මෙහෙම දෙයක් තියනවා. නූගත් මිනිස්සු ඉන්න රටක ජීවත් වෙන්න හරි ලේසියි. මොකද සෞඛ්‍යට හිතකර… ජීවිතේට, සමාජේට හිතකර දෙයක් ඒ මිනිස්සුට කිව්වම… ඒ මිනිස්සුන්ගේ තියෙන නූගත්කම නිසාම ඒ මිනිස්සු ඒ දේ පිළිගන්නවා. නමුත් උගත්, ඒත් සම්ප්‍රදාය කියන රෙද්දෙන් ඇස්, කන්, කට වහගෙන ඉන්න මිනිස්සු ජීවත්වෙන රටක ජීවත් වෙන්න හරි අමාරුයි.
නිමි…
#උපුටාගැනීමක් #ViralNewsLK