
අනාචාරයේ යෙදෙන පුද්ගලයෙකු සම්බන්ධව පොලීසියට පැමිණිලි විභාග කළ හැකිද?
Can the police investigate complaints about adultery?
යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වලංගු විවාහයක් පවතින අවස්ථාවක ඉන් පරිබාහිර අයෙකු සමග ලිංගික සම්බන්තා පැවැත්වීම නීතිය තුළ “අනාචාරය” ලෙස හඳුන්වයි.නමුත් අනාචාරය ලංකාවේ අපරාධමය වරදක් නොවේ.චෙල්ලයියා එරෙහිව ප්‍රනාන්දු (39 NLR 130) නඩුවේදීද මෙම නීතිමය තත්වය තීරණය කොට ඇත.
අනාචාරය දික්කසාදය ලබා ගැනීම සදහා එක් පදනමක් ලෙස සලකන හෙයින් ඒ කරුණ මත දික්කසාද නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතී.සිවිල් නඩු ව්ධාන සංග්‍රහයේ 598 වගන්තිය අනූව තම කලත්‍රයා සමග අනාචාරයේ යෙදෙන අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය සොයාගැනීමට හැකි නම් සහ මියගොස් නොමැති නම් සම විත්තිකරුවෙකු ලෙස නම් කළ යුතුය.නමුත් අනාචාරය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු බව ජයසිංහ එරෙහිව ජයසිංහ (55 NLR 410) නඩුවේදී තීරණය කොට ඇත.එම නිසා ඒ සදහා සදහා අධිකරණය සෑහීමට පත් වන සාක්ෂි එකතු කරගැනීම වැදගත් වේ.එම නිසා දුරකථන ඇමතුම් රෙකෝර්ඩින්ග් ,එස්.එම්.එස්,ඡායාරූප,වීඩියෝ දර්ශන හෝ ලිඛිත සාක්ෂි එකතු කිරීමට උත්සාහ කළ යුතු වේ.
අනාචාරය අපරාධමය වරදක් නොවන බව අප ඉහතදී සදහන් කළෙමු.එවන් අවස්ථාවක පැමිණිල්ලක් බාර ගෙන විභාග කිරීමට පොලීසියට බලය තිබේද යන්න මෙතැන් සිට විමසා බලමු.ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විමර්ශනය සම්බන්ධව ප්‍රතිපාදන සලසන මූලික පනත වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය යි.එම පනතේ එකලොස්වන පරිච්ඡේදය “වැරදි විමර්ශනය කිරීම” සම්බන්ධව කාර්‍යපටිපාටිය දක්වා ඇත.එහි පොලිස් විමර්ශනක් ආරම්භ කළ හැකි ආකාරය දැක්වෙන 109 (1) වගන්තිය පහත පරිදි වේ.
“වරදක් විමර්ශනය කිරීම පිළිබඳ සෑම තොරතුරක්ම පොලිස් නිලධාරියෙකු වෙත හෝ පරීක්ෂකවරයෙකු වෙත වාචිකව හෝ ලියවිල්ලකින් හෝ දෙනු ලැබිය යුතුය”
ඉහත වගන්තිය අනූව ඉතා පැහැදිලි කරුණ වන්නේ පොලීසියට විමර්ශනක් ආරම්භ කළ හැක්කේ වරදක් සිදු කිරීම සම්බන්ධව පමණක් බවයි.මීළඟට සොයා බැලිය යුත්තේ අපරාධමය වැරදි නොවන අනාචාරය වැනි සිවිල් වැරදි සම්බන්ධව ද විමර්ශනය කිරීමට පොලීසියට බලය තිබේද යන්නයි.ඒ සදහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ “වරද” යන්න අර්ථනිරූපණය කොට ඇත්තේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.අපරාධ නඩු විධාන සංග්‍රහයේ අර්ථනිරූපණ වගන්තිය වන 02 වන වගන්තිය පහත පරිදි වේ.
“වරද” – යන්නෙන් තත් කාලයෙහි ශ්‍රී ලංකාවේහි බලපවත්නා යම් නීතියක් මගින් දඬුවම් පැමිණිවිය හැකි යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අදහස් වේ.
මේ අනූව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඕනෑම වගන්තියක “වරද” යන්න සදහන් කර ඇතිඅවස්ථාවක දී ඉන් අදහස් වන්නේ අපරාධමය වරදක් බව පැහැදිලි වේ.
ඉහත සියලු නීතිමය තත්වයන් මත අපරාධමය වරදක් නොවන “අනාචාරය” සම්බන්ධව පැමිණිලි භාර ගෙන විභාග කිරීමට පොලීසියට බලයක් නොමැති බව කිව හැකිය.
~ නීතීඥ සාරංග වාදසිංහ ~