
මම පුංචි කාලේ ඉදන්ම හීන දැක්කේ පයිලට් කෙනෙක් වෙන්න – අයෝමි උපේක්ෂා
Ever since I was a child, I dreamed of becoming a pilot – Ayomi Upeksha
අද ලෝක කාන්තා දිනය බව කොයි කාටත් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ, ඉතින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මෙරට පළමු ගුවන් නියමුවරියන් අටදෙනා අතරට එක් වූ දක්ෂ පියාසර නිලධාරිනියක් ගැන තමයි අපි මේ කියන්නට යන්නේ. ඇය තමයි අයෝමි උපේක්ෂා. ඉතින් ඇය පුවත්පතක් එක්ක එකතුවෙලා කාන්තවක් විදිහට ඇය මේ වනවිට ලබාගෙන තියෙන සාර්ථකත්වය ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ වයස අවුරුදු 27 යි. ඒ වගේම මාතලේ උපන් ඇය අධ්‍යාපනය හැදෑරලා තියෙන්නේ මාතලේ සංඝමිත්තා බාලිකා ජාතික පාසලෙන්.

ඉතින් ඇය උසස් පෙළ හැදෑරුවේ ගණිත අංශයෙන් කියලයි අයෝමි කියන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉඳලාම ඇයගේ තිබුණ එකම හීනය තමයිලු පයිලට් කෙනෙක් වෙන එක. ඉතින් ඒක පාසල් කාලේ ඉඳලා ඇයට තිබුණු පිස්සුවක් කියලත් ඇය කියනවා. ඒ නිසාම පාසල් කාලේ ඉඳලා ඇය හැමදාම ජීවත් වුණේ ඇයගේ ඒ හීනේ ඇතුළෙ කියලයි අයෝමි නම් කියන්නේ. ඉතින් අහසේ අහස් යානාවක් ගියත් ඇය ඒක දිහා බලාගෙන හීන දැක්කාලු.
කොහොම නමුත් ඇය කවදාහරි පයිලට් කෙනෙක් වෙනවා කිව්වාම හිනාවුණු අයත් හිටියා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය උසස් පෙළ ලියලා ඒ ප්‍රතිඵල එක්ක විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබුවා වුනත් කැම්පස් අයදුම් නොකර ගුවන් හමුදාවට කාන්තා ගුවන් නියමුවරියන් බඳවා ගන්න දැන්වීම දැකලා ඇය ඒකට අයැදුම් කරලා තියෙනවා. ඉතින් ඒ ඉල්ලුම් පත්‍රය අනුව සම්මුඛ පරීක්ෂණවලින් පසුව ඇයව පුහුණුව සඳහා තෝරා ගත්ත නිසා ඒ ලැබුණු විරල අවස්ථාව ගැන ඇය සතුටු වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම පළමු වතාවට ගුවන් යානය අතට ගත් වෙලාවේ හිතට පොඩි බයක් දැනුනත් ඒ සීට් එකේ වාඩි වුණාම හිත ඇතුළෙන් කියාගන්න බැරි තරම් සතුටක් දැණුනා කියලත් ඇය කියනවා. මොකද දවසක ඒ විදියට ඉගිලෙන්න ඇය දැකපු හීනේ සැබෑ වුණු නිසා. ඉතින් පොළොවට වඩා ගුවනේ සැරිසරන එක හරිම අභියෝගාත්මක වුනත් ඒ ගමන එද්දිම ඇය ආවේ අභියෝග බලාපොරොත්තුවෙන් කියලයි අයෝමි කියන්නේ. හැබැයි ඒ අභියෝග ජය ගන්නවා කියන එක සරල පහසු පහසු වුනේ නැහැ කියලත් ඇය කියනවා. හැබැයි ආත්ම ශක්තිය ඒ හැම අභියෝගයකටම වඩා බලවත් නිසා පළමු ගුවන් ගමන ඇයට ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම දැන් ඇයගේ පුහුණු කාලය අවසන් නිසා මේ වෙනකොට ඇය රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව වෘත්තීය මට්ටමේ ගුවන් නියමුවරියක් ලෙස සේවය කරනවා. ඉතින් රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කරන එක එකම බලාපොරොත්තුව කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.