
යාල වනය මැද පිහිටි කනබිසවි ගල්ගේ සොයාගිය දුෂ්කර ගමන
The Difficult Journey to Find Kanabisavi Cave in The Middle of Yala Forest
යාල වනය මැද පිහිටි කනබිසවි ගල්ගේ සොයාගිය දුස්කර ගමන
යාල …. දෙස්, විදෙස් සංචාරකයන්ගේ සිත්හි ජනිත කරන්නේ සහ සිහිපත් කරවන්නේ අලි – කොටි – වලස් අාදී වියළි කලාපීය වනපෙතක් තුළදී දැකිය හැකි වනසතුන් පිළිබඳ වූ සිතුවමකි. ඒ සැබෑවක් වුවත් පලටුපානින් යාල වනපෙත වෙත පිවිසීමට පෙර පලටුපාන වනජිවී සත්ත්ව නිදර්ශක තබා ඇති ස්ථානයේ පසෙකට වන්නට ප්‍රදර්ශනය කර ඇති පැරැණි කාකී ඇඳුමින් සැරසී ඉණට අත තබා ගෙන සිටගෙන සිටිනා මිනිස් රුව කුමක් දැයි යන්න මදකට හෝ විපරම් කරන්නට සංචාරක ඔබ සිතා බැලුවේද? ඔහු එංගල් බ්‍රෙක්ට් ය. යාල වනපෙත සුරක්ෂිත වනජීවී රක්ෂිතයක් බවට පත් වීමටද ප්‍රථම සිටම යාල දඩ කෙළිය සදහා නිරන්තරවම පැමිණි සුදු ජාතියන් සහ දඩයක්කරුවන් සමඟ ගැටෙමින් යාල රකින්නට වෙහෙසුණු උදාරතර මිනිසා ඔහුය.

එංගල් බ්‍රෙක්ට් යාල වනපෙත මධ්‍යයේ සිදු කළ රාජකාරී සංචාරයක් අතරතුරදී කණබිසව් ගල්ගේ නමැති පුරා විද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානය වෙත පැමිණ තිබේ. ඒ බව සනාථ කරනු වස් එහි විහාරයක් පැවැති බවට නටබුන් සහිත හුනු බදාමයෙන් පිරියම් කළ බිත්තියක් මත තැබූ තමන්ගේ අත්සන සොයා යාල ඉතිහාසය පිළිබඳ සිදු කරන අපේ ගවේෂණ තුළදී ගිය ගමනේ වත – ගොත සමඟ මුසු කරමින් එංගල් බ්‍රෙක්ට් යාල ආරක්ෂා කරනු පිණිස සිදු කළ නිහඬ මෙහෙවර පිළිබද අතීතාවර්ජනයේ යෙදෙන්නේ ඔහු ගේ නිහඬ මෙහෙවර ගෞරවාන්විතව සිහිපත් කරනු පිණිසයි.

යාල කලාප අංක දෙක තුළ පිහිටා ඇති කණබිසව් ගල්ගේ සාමාන්‍ය සංචාරකයන්ට ඇතුළු විය නොහැකි කලාපය තුළ පිහිටා ඇත. යාල වනපෙතේ සංචාරයට කදිම හෝරාව ලෙස වනජීවී නිලධාරීන් හඳුන්වන හිරු ගේ පළමු රැස් බිඳුව වනපෙතට එල්ල වුණු යාමේ, ඒ කියන්නේ පාන්දර කළුවරෙම අපි කණ බිසව් ගල් ගේ බලා යන දුෂ්කර චාරිකාව ආරම්භ කළෙමු. ඒ යන ගමන අතර තුරදී එංගල් බ්‍රෙක්ට්ගේ අතීතය ද සිහිපත් කරනුයේ ඔහුගේ ජීවන කථාන්තරය තුළින් අපට උගත යුතු බොහෝ දෑ අන්තර්ගතව ඇති බැවිනි.
“යාල බිමේ අඟලක් නෑර මම දන්නවා. මොකද මම මේ බිමට ආදරෙයි. මේ අස්සක් මුල්ලක් නෑර මම හක්කලං කළ කැලයයි. යාල කැලේ ඇති පරණ වැව්, කුඹුරු, ඉඩම්, වෙහෙර – විහාර නටබුන්, මොන තරම් නම් මේ කැලේ වහන් වෙලා තියෙනවාද? එවා වහ ගෙන කැලේ තමයි දවසින් දවස මෝරන්නේ. ඒ වනය තුළ අහිංසක විදිහට ජිවත් වෙන වනසත්තු සුද්දන්ට ගේ තුවක්කුවට හොද ඉලක්කයක්.
ඒත් සත්තුන්ට ගිනි බිඳින දඩයමට ලොල් වුණු දඩයක්කාරයිනේ …. මින් මතුවට යාලට එන්නනම් හිතන්නවත් එපා. දඩයමයි, සත්තු රැකිල්ලයි දෙකක් කරන්න බෑ … දඩයමට නම් යාලට එන්න හිතන්නවත් එපා ” නිරන්තරවම එංගල් බ්‍රෙක්ට්ගේ මුවින් පිට වී ඇත්තේ එබඳු වදන්ය.
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයේ යුද සිරකරුවකු ලෙස දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්වාල් ජනපදයේ සිට අපේ රටට 1897 වසරේදී පැමිණි එච්.ඊ. එංගල් බ්‍රෙක්ට්, බෝයර් සම්භවයක් සහිත මිනිසෙකි. ඔහුගේ තීරණ සෘජුය. දැඩිය. යටත් විජිත වාදය තදින්ම පිළිකුල් කළේය. එළි පිටම විවේචනය කළේය. එංගලන්ත අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙමින් සුද්දන් දුටු තැන බැණ වදිමින් ඔවුන්ගේ ආණ්ඩුව විවේචනය කළේය. වර්ෂ 1897 ජූනි මාසයේ දියතලාවේ හමුදා කඳවුරේ සිට කොළඹටත්, එතැනින් හම්බන්තොටටත් ඔහු රැගෙන ආවේ යුද සිරකරුවකු ලෙසය. එසේ පැමිණි එංගල් බ්‍රෙක්ට් ලැගුම් ගත්තේ පැරැණි ඕලන්ද ගොඩනැගිල්ලේය. මහ දවල් පවා නිරුවතින් හම්බන්තොට මිනිසුන් ගැවසෙන නගර මධ්‍යයේ සුදු අධිරාජ්‍යවාදයට බැන අඩ ගසමින් ඇවිද යාමේ පුරුද්ද නිසා මොහු කල් යත්ම විලි ලැජ්ජා නැති හෙළු වැලි සිරකරුවා යන නමින් ආමන්ත්‍රණය කිරීමට පවා දුටුවෝ පෙලඹුණහ. එවැනි වු බස් නෑසු කන්ව තම සුපුරුදු දින චර්යාවේ නිරත වූ මොහු පාලකයන්ට හිසරදයක් විය. එබැවින් රජයේ රැකියාවක් ලබා දී මොහු නිහඬ කිරිමට සිතා ඔහුගේ ගති සෝබාව වන නොසෙල්වෙන භාවයට ගැළපෙන රැකියාවක් වන යාල වනපෙතේ ප්‍රථම භාරකරු ලෙස ඔහු පත් කර හම්බන්තොටින් යාලට යවා ඇත.

එංගල් බ්‍රෙක්ට්ගේ ආගමනයත් සමඟම යාල මෙතෙක් පැවති දඩ කෙළිය කණපිට ගැසුණේය. විනෝදය පිණිස සහ දඩයම් පිණිස සතුන් සොයා වතුකරයේ සිට නිවාඩු ගත කිරීමට යාලට පැමිණි සුදු මහත්තුරුන්ට ආපසු ආපයින්ම යාමට සිදු වූයේ නොනැමෙන, සෘජු තීරණ ගනිමින් යාල රාජකාරී කළ එංගල් නිසාය. හොර රහසේ යාලට රිංගමින් වනසතුන් මරන්නන් හසු වූ කල ඒ සතුන්ගේ මස් “මරා ගත්තා නම් අමුවේම කාපන්” යැයි කියමින් සුද්දන්ට කැව්වේය. නොකල් හි වනයට එබෙමින් නොසිරිත්හි යෙදුණු වුන් හසු වු කළ ගස් බැද දිමි ගොටු ඇගට දැමුවේ යාලට පනවා තිබූ නීතියට ගරු නොකළ බැවිනි. යාල කැලය වටා දඩයම් සිදු වීම වැළැක්වීමට මුර කරුවන් යෙදවුයේය. යාල වනසතුන් සහ කැලය ආරක්ෂා කිරීමට සහ පනවා ඇති නීති කඩන සුද්දන්ට හිරි හැර විඳින්නට සිදු වූ නිසා එංගල් යනු සුද්දන්ගේ ඇහේ ඇනුණු කටුවක් හා සමාන විය. එය අහක් කරගන්න තුරු ඔවුන්ට නිදි නොවීය.
වනාන්තරයක, විශේෂයෙන්ම වියළි කලාපීය වනපෙතක් තුළ සිදු කරන පා ගමනක් යනු අතිශය වෙහෙසකර වූ, දුෂ්කර වූත් කාර්යයක් බව කිව යුතුමද? මෙවැනි ගමන් වළදී රැක ගත යුතු වටිනාම අමිල වු සම්පත වන්නේ ජලයයි. එබැවින් දැඩිව දැනෙන සා පිපාසාව දිව විකා ගනිමින් විඳ දරාගෙන කුඩු කිනිතුල්ලන්ගෙන් නිරන්තරවම බැට කන සිරුරේ අඟ පසඟ අත පත ගාමින්, දහඩියෙන් තෙත් වෙන සිරුරට සමතලා බිමේ සිට ක්‍රමානුකූලව ඉහළ නගින හුදෙකලා “කඳු තරණය කරනු” යන දැඩි වු නියෝගය ලබා දෙමින්, අවසන විද දරා ගත් සියලු දුක්ඛ දෝමනස්ස සමනය කරන දැකුමකින් යුක්ත වු ගමන් ඉලක්කය වෙත සුපුරුදු පරිදි අප කණ්ඩායම ළඟා වු බව පමණක් මෙහිලා සඳහන් කරමි.

කණබිසව් ගල් ගේ…, දැන් හුදෙකලා වු කන්දක මුදුනට මඳක් පහළට වන්නට පිහිටි ඉදිරියට නෙරා ගිය ගල් පතුරක් සහිත (සොබාවිකව පිහිටි ගල් ලෙනක්) ආධාර කර ගෙන එහි විහාරයක් තනා ඇති බවට සාක්ෂි ඉතිරිවී ඇති නටබුන් සහිත ස්ථානයකට අපි පැමිණ සිටියෙමු. යාල යනු පුරාවිද්‍යත්මක නටබුන් ගහන වන බිමකි. වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි වන බිම් වනජිවී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු සහ පරමාර්ථ අතරේ සංස්කෘතිමය වටිනා කම් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමද ඇතුළත්ය.
මෙය දුරාතීතයේ ආරාම සංකීර්ණයක් ව තිබූ බවට ශේෂවූ නටබුන් සාක්ෂි දරයි. මෙම ලෙන විහාර සංකීර්ණයක් තෙක් පුළුල් කර ඇති බවට ලෙන පිටතින් ගඩොලින් බිත්ති බැදීමත්, ගල් බිත්තිය දිගේ ගලා එන ජලය නැවැත්වීමට ගලේ කෙටූ කටාරමත් නිදසුන් වේ. ඉනිදු නොනැවතී තව දුරටත් විහාරය වැසි දියෙන් ආරක්ෂා කිරීමටත් ගඩොලින් බැඳි බිත්තියේ ශක්තිය තර කිරීමටත් ස්තර සිටින සේ පියසි බිත්තියේ පියවරෙන් පියවරට සකස් කර ඇත. සිංහල මෝස්තර කලාවේ එන සංකේත කිහිපයක් විහාර ඇතුළත හුනු බදාමයෙන් පිරියම් කළ බිත්ති මත ඇද ඇත. ඒ අතර නටබුන් වු බුදු රුව සහ වැටකෙයියා මලක් යැයි සිතිය හැකි සිතුවම් දෙක ප්‍රධානය. මේ බිත්තියේම අනෙක් පස පිහිටි බිත්තිය මාගේ අවධානයට යොමු වුයේ අපගේ ගමනේ ප්‍රමුඛ සාක්ෂිය වු එංගල් බ්‍රෙක්ට්ගේ අත්සන එහි සටහන්ව ඇති ආකාරය දිස් වීමෙනි. එහි මෙසේ සටහන් තබා ඇත.

“HENRY ENGLE BRECHT – 1919“
යාල වනපෙතේ පළමු භාරකරු ලෙස තමන් වෙත ලබා දුන් රාජකාරිය අකුරටම ඉටු කළ එංගල් බ්‍රෙක්ට් තම ධුර කාලය තුළ යාල වැදගත් ස්ථානයන් වෙත නිරන්තරවම මුර සංචාරයේ නිරත වු බවට යාල කලාප අංක 02 තුළ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් වන කණබිසව් ගල්ගේ තුළ ඔහු විසින්ම 1919 තම ධුර කාලය තුළදී පැමිණ තබා ඇති මේ අත්සන වැදගත් වු සාක්ෂියක් වේ
සුදු ආණ්ඩුව විසින් එංගල්ට පැවරූ රාජකාරිය ඔහු විසින් නිසි පරිදි සිදු කළත්, සුදු නිලධාරීන් දඩයම් පිණිස යාලට පා තැබූ කල ඔවුන්ගේ යටත් විජිතවාදයට එදිරිව එංගල් තුළ වු විරුද්ධත්වය සුදු නිලධාරීන් වෙත දණ්ඩන ස්වරූපයෙන් මුදා හැරුණේය. එංගල් බ්‍රෙක්ට් යාලට වී නිදහසේ සිදු කරන මේ ආණ්ඩු විරෝධී ක්‍රියා කලාපයන්ට නැවතීමේ තිත තැබිමේ අවශ්‍යතාව බොහෝ දෙනකු වෙත වු බව එංගල් බ්‍රෙක්ට් යළිත් සිර මැදිරියක් වෙත කොටු කරන තුරු සිදු වු සිදු වීම් දාමයම සාක්ෂි දරයි..