
උතුරේ සංරක්ෂත ඓතිහාසික මුලතිව් කුරුන්දි කබොක් දාගැබ
The Largest Preserved Kabok Dagaba in the North – Mullaitivu Historic Kurundi Dagaba
මෙම පුරාවිද්‍යා ස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති අතිශය වැදගත් ආරාමික නටබුන් පරිශ්‍රයකි. මළු තුනක් ආකාරයෙන් සකසා ඇති කදු ගැටයක ඉහළම මළුවේ පිහිටා ඇති මෙම නටබුන් අතර කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්තූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුණු සහිත ගොඩනැගිලි, සඳකඩ පහන් සහ කැටයම් සහිත ශිලාමය උලුවහු දැකගත හැකි අතර කුරුන්දි වැවට පහලින්ද ආරාමික නටබුන් හමුවන ස්ථානයක් පවතී.

අට්ඨකථාවන්හි සහ වංශකතාවන්හි සඳහන් කුරුන්දක, කුරුන්ද, කුරුඥපාසක යන නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි. ඛල්ලාඨනාග රජු සම්මත වර්ෂයට පෙර 109-103 දී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු සම්මත වර්ෂ 571-604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු (සම්මත වර්ෂ 1055-1110) ද කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් (සම්මත වර්ෂ1236-1270) මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේ. 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවල මෙම ස්ථානයෙන් හමු වූ තුන්වන මිහිඳු රජුට අයත් සෙල්ලිපියක් ගැන සඳහන් වේ. එහි මෙම ප්‍රදේශය කුරුන්ගම නමින් හඳුන්වා ඇත. වැවේ පැවති දිය ආරවුලක් සංසිදුවා මෙම සෙල්ලිපිය පිහිටවූ බව එහි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනයේදී මෙම ස්ථානයට වැඩි බව ජනප්‍රවාදයේ එන කරුණකි. මෙම ස්ථානයේ පවතින නටබුන් පිළිබඳව යටත් විජිත සමයේ සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාර්කර්, ජේ.පී. ලෙවිස් විසින් වැඩිදුර විස්තර සඳහන් කර ඇත. වාස්තුවිද්‍යා ඉදිකිරීම්වල විහිදීම අධ්‍යයනය කිරීමෙන් මෙම ආරාම පරිශ්‍රය පබ්බතාරාම සම්ප්‍රධායට අයත් බව පෙනේ. ස්තූපය, ප්‍රාකාර බැමි, සහ ගොඩනැගිලි ඇතුලු එම සියලු ඉදිකිරීම්වල ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන ඇත්තේ ප්‍රදේශයේ බහුලව දැකගත හැකි කබොක් ගලින් තැනූ ගඩොල් වීම විශේෂයි. දිවයිනේ ඓතිහාසික ස්ථානවලින් අතලොස්සක පමනක් මෙම කබොක් ගලින් කළ ඉදිකිරීම් දැකගත හැකිය
මෙම පුරාවිද්‍යා පරිශ්‍රය යටත් විජිත සමයේ වර්ෂ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78ක භූමි කොටසක් පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
2021 වසරේ ජනවාරි 18 දින ජාතික උරුමයන් පිලිබඳ රාජ්‍ය අමාත්‍යතුමා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් තුමන් අතින් මෙම පුරාවිද්‍යා ස්ථානයේ ස්තූපයේ කැණීම් කටයුතු ආරම්භ වූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ මෙහෙයවීමෙන් හා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුල කැණීම් කටයුතු සාර්ථකව නිමාවට පත් වීමෙන් අනතුරුව එම වසරේම මැයි 10 දින සුභ මොහොතින් සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.
මෙම කාර්යය සාර්ථක කරගැනීමට කැපවූ උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේට, මූල්‍ය ආධාර සපයන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා සංරක්ෂණ අංශ ඇතුලු සියලුම අංශවල නිලධාරීන්ට, වවනියාව, මන්නාරම, මුලතිව් සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක මහතා ඇතුලු නිලධාරීන්ට, මුලතිව් කලාප භාර නිලධාරීට සහ යටිතල පහසුකම් සපයා දුන් අලම්පිල් 24 සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු හමුදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ නිලධාරීන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
2021 වසරේ සිට වසර 2කට ආසන්න කාලයක් විවිධ අන්තවාදී මහජන විරෝධතා හා අධිකරණ නියෝග හමුවේ විටින් විට ස්තූපයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු අතරමග නවතා දැමීමට සිදුවූ අවස්ථා බොහෝය. නමුත් එම සෑම අභියෝගයක්ම ජයගනිමින් ඉතා අලංකාර ස්තූපයක් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් අතරට එක්කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වීම ඉමහත් ජයග්‍රහණයකි.
ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්‍යාලය
වව්නියාව,මන්නාරම,මුලතිව්