මෙලොවින් සමුගත් සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා

මෙලොවින් සමුගත් සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා

Musician Sanath Nandasiri Passed Away

දහස් ගණනක් ගෝලයෝ වගේම ගීත 2000කට වඩා හදලා තියෙනවා-මෙලොවින් සමුගත් සනත් නන්දසිරි මහතාගේ අවසන් සංවාදය

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අද දින රටක් කම්පාවට පත්කරමින් දිවි සැරිය නිමා කලා. මියයන විට ඔහු 81 වන වියේ පසුවූ අතර කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස ද කටයුතු කලා. අපේ රටේ සුභාවිත සංගීතයට පණ පෙවූ ඔහු විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වාග්ගේයකරුවෙකු ලෙසටයි.

එමෙන්ම සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට රසික හදවත් දිනූ කලාකරුවෙක්. ඉතින් ඔහු මෙලොවින් සමුගැනීමට පෙර පුවත්පතකට ඔහු විසින් පවසලා තිබුණු කතා බහක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

මගේ තාත්තා සංගීතයට හුගාක් ආස කෙනෙක්. ඒ වගේම ඉස්සර පළාතෙන්ම ග්‍රැමෆෝනයක් තිබුණේ අපේ ගෙදර විතරයි. ඉතින් ග්‍රැමෆෝනයෙන් පස්සේ පළමුවෙන්ම රේඩියෝවක් ගෙනාවෙත් අපේ ගෙදරට. මේ නිසාම අපේ තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන්. මම හිතන්නේ තාත්තගේ ආභාෂය නිසාම මටත් සින්දු කියන්න පොඩි කාලේ ඉඳලම හැකි වෙලා තිබුණා.

ඒ වගේම මගේ සංගිත ලෝකේ මුල් ගුරුතුමා වුණේ හේමතිලක දයාරත්න මහතායි. එතුමා සංගීත ගුරුවරයෙක් නොවෙයි නමුත් මට සරිගම කියා දෙන්න සංගීතය පිළිබඳ දැනුමක් එතුමට තිබුණා. එයින් පස්සේ අධ්‍යාපන කටයුතුත් සමඟම මට හේවුඩ් සංගීත විද්‍යාලයට ඇතුළු වෙන්න ලැබුණා. මේ කාලෙදිම ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට සම්බන්ධ වුණා. ඒ කාලේදිම ඩී. ආර්. පීරිස් මහත්මයාගෙන් තබ්ලා වාදනය පිළිබඳ ඉගෙන ගත්තා. එතුමාගේ මුල්ම ශිෂ්‍යයා මමයි.

ඉතින් ඒ කලේදීම ගුවන් විදුලියේ වෙළඳ අංශයේ හිටපු පී. එල්. ඒ. සෝමපාල මහත්තයාගේ ආරාධනාවකට සරළ ගී තුනක් පටිගත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සරළ ගී තමයි. මීහිරා වී, ඇවිළුණු ගිනිදැල්, මහද පෙම් විලේ කියන ගීත. මේ අතරින් ඇවිළුණු ගිනිදැල් ගීතය හුඟාක් ජනප්‍රිය වුණා. ඇත්තටම කියනවානම් මට මල්කාන්තිව ජීවිතයට හුඟක් සමීප වුණු කාලයේ තමයි මේ ගීත අතර තිබුණු මිහිරාවී ගිතය අපි දෙන්න පටිගත කලේ. ඒක ඉතින් ජීවිතයේ මතක හිටින සුන්දර තැනක්.

මේ ජීවිත කාලේදී මම සින්දු කිය කියා විතරක් හිටියේ නැහැ. අද හුගක් ප්‍රවීණ සහ පිළිගැනීමක් ඇති අය ඉන්නවා ඒ අය කරල තියෙන්නේ ගීත ගායනයයි ගීත නිර්මාණය කිරීමයි පමණයි. මම මේ ජීවිත කාලේදී දහස් ගණන් ගෝලයෝ හදලා තියෙනවා. ගීත දෙදහසකට එහා ප්‍රමාණයක් හදලා තියෙනවා. මේ කලාව වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. ඒ දේවල් සිහි කරද්දී මට මේ ජීවිතය ගැන බොහෝ සතුටක් දැනෙනවා. ඒ වගේම මට ඉතා වටිනා දියණියක් ඉන්නවා ඇය විවාහා වුණු පුතාත් අපට බොහෝම වටින ආදරණීය දරුවෙක් කියලයි එතුමන් අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් අප අතරින් සමුගත් සනත් නන්දසිරි මහතාට අප නිසාන් සුව ප්‍රාර්ථනා කරමු.

CATEGORIES
TAGS
Share This