පොසොන් පුර පසළොස්වක පෝය දින වැදගත්කම

පොසොන් පුර පසළොස්වක පෝය දින වැදගත්කම

Discovering the Significance of Poson Full Moon Poya Day


(𝟏) බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම⁣

බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝය දින බුද්ධත්වයට පත් වූ පසු සති හතක්ම ජය ශ්‍රී මහා බෝධිය හා ඒ ඇසුරෙහි සමවත් සුවයෙන් කාලය ගත කළ සේක. එම කාලය “සත් සතිය” ලෙස හැඳින්වේ. එම සති හතෙන් සිව්වන සතිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වයඹ දෙසින් පිහිටි රුවන්ගෙයි වැඩ සිටි අතර එහිදී උන්වහන්සේ ගැඹුරු ධර්මයක් වූ අභිධර්මය මෙනෙහි කළ සේක. මෙහිදී උන්වහන්සේගේ ශරීරයෙන් සවණක් ඝන බුදු රැස් විහිදෙන්නට විය. මෙම සිදුවීම සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. ⁣

(𝟐) සිද්ධාර්ථ කුමරුන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වීම ⁣

සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැර යාමට හේතු වූ ප්‍රධාන සාධක අතරින් මුල් තැනක් ලැබෙන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදි රුවක් යන සතර පෙර නිමිති දැකීමටය. මෙම සතර පෙර නිමිති වලින් තුන් වන්න වූ මලමිනියක් දැකීම සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය⁣

(𝟑) ශාක්‍ය සහ කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් එකම මොහොතක රහත් ඵලයට පත්වීම ⁣

බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී බුදුරජාණන් වහන්සේට ඥාතිත්වය ඇති ශාක්‍ය සහ කෝලීය වංශ නම් දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් සියලු කෙලෙසුන් නසා එකම මොහොතක රහත් ඵලයට පත් වූහ. එම අසිරිමත් සිදුවීම සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. ⁣

(𝟒) තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීම⁣

බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑමෙන් වසර දෙසීය තිස් හයකට පසු සංඝයා අතර අසමගිය ඇතිවීම හා ලාභ සත්කාර අපේක්ෂාවෙන් අන්‍යතීර්ථකයන් සසුනට ඇතුළුවීම නිසා බුදු සසුනට සිදු වෙමින් පැවති විනාශයෙන් බේරා ගැනීමට මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව ආරම්භ විය. පැළලුප් නුවර අශෝකාරාමයෙදී පුරා මාස නවයක් තිස්සේ සිදු කෙරුණු මෙම කටයුත්ත සඳහා ධර්මාශෝක රජතුමා අනුග්‍රහය දැක්වීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීම සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. ⁣

ශ්‍රී ලාංකිකයන් වන අපට ඇති වැදගත්කම ⁣

(𝟓) මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස මිහින්තලයට වැඩමකර ලක්දිව බුදුසසුන පිහිටුවීම⁣

මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස මිහින්තලයට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පෝය දිනකදීය. ⁣

මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මිහින්තලා ගල් පර්වතය මුදුනේ සිට ‘තිස්ස තිස්ස’ කියා ආමන්ත‍්‍රණය කළ සේක. ලක්දිව රජු වන තමා හට නම කියා ආමන්ත්‍රණය කරනු ලබන ජගතා කවුරුන් දැයි සොයා බැලූ කළ දර්ශනය වූ මිහිඳු හිමියන් පහත දැක්වෙන අයුරින් රජු ඇමතූ සේක. ⁣

සමනාමයං මහා රාජ ⁣
ධම්ම රාජස්ස සාවකා ⁣
තමේව අනුකම්පාය ⁣
ජම්බුදීපා ඉධාගතා⁣

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වන්නෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. ⁣

පෙර වතාවක ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් අමාත්‍යවරයා අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැති වෙතින් ලබා සිටි අතර මිහිඳු හිමියන්ට එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය. සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න අසා රජු සාර්ථකව දුන් පිළිතුරු නිසා එතුමන් හට ධර්මය දේශනා කිරීමට තීරණය කළ සේක. අනතුරුව දේවානම්පියතිස්ස රජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුර පසළොස්වක පෝය දින පිහිටුවන ලදි. එම නිසා ලොව අනෙකුත් සංස්කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් සහිත ජාතියක්, බවට පත් විය. ⁣

(𝟔) ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම⁣

(𝟕) සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.⁣

(𝟖) මහාවංශය ඇතුළු ධර්ම ග‍්‍රන්ථ ලියැවීමට මුල පිරීම සිදු වීම.⁣

CATEGORIES
TAGS
Share This