
වයලට් මට කිව්වා මගේ නියම අම්මා ඇය නෙවෙයි, මුදලකට ඇය ‘ඇක්ටින් අම්මා” විදියට හිටියා කියලා
Violet Told Me that She Was Not My Real Mother, but That She Was an ‘Acting Mother’ for Money
ඇය දැන් ජීවිතයෙන් ගොස් සිටිය ද ඇය කවුදැයි අපි දනිමු.
යම් විදියකින් අප උපදින විට ම හෝ යාන්තම් හයහතර තේරුම් ගන්නට පුළුවන් කාලය වන විට අම්මා මිය ගොස් සිටිය ද ඇය කවුද ඇගේ හැඩරුව, ගතිගුණ කෙලෙස දැයි අසා දැන ගන්නට ඥාතියකු හෝ අඩු තරමින් ඇගේ සේයාරුවක් හෝ අපට නැති වන්නේ නැත.
ජීවිතයේ තමන්ට ආදරය කරන්නේ යැයි සිතන සියල්ලන් තමන් හැර ගිය කල, වෙන්ව ගිය කල මිනිසකුට දැනෙන පාළුව, වේදනාව කොයි තරම් ද?
එහෙත් එදිනට තම අම්මා පමණක් ළඟ ඉතිරි වන්නේ නම් ඔහුට හෝ ඇයට දැනෙන අස්වැසිල්ල, සැනසිල්ල මහමෙරක් තරම් වනු ඇත.
ජීවිතයේ සකල වේදනාවන්, පරාජයන් වෙන්වීම්වලට ගොදුරු වූ අයකුට තම අම්මා ගේ සෙනෙහස ද හඬ ද මහා ශාන්තියක් සේ දැනෙන්නේ ඒ නිසාය.
එහෙත් එවන් වාසනාවක් නොමැති මිනිසකු හෝ ගැහැනියක මේ පොළොව මත සිටින්නේ යැයි සමහර විට ඔබ නොදන්නවා විය හැකිය. මා මේ පූර්විකාව ලීවේ එවැනි අපූර්ව කතාවක් ඔබට කියනු පිණිසය.
ස්විට්සර්ලන්තයේ සාරා රමණි සුන්දර යුවතියකි. ඇය මට පසුගිය දිනෙක හමුවූයේ ඇගේ වසර 42ක් පමණ වන ජීවිතයේ 09 වැනි වතාවට ලංකාවට පැමිණ සිටියදීය. සිංහල භාෂාව කොහෙත්ම කතා කරන්නට නොහැකි නමුත් ඇය උපතින්ම ශ්‍රී ලාංකික යුවතියකි. ඉතා බිලිඳු අවධියේ දී දරුකමට හදා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයට ගෙන යන ලදුව දැන් ඇය ද අද දරුවන් තිදෙනකුගේ මවකි. ඇගේ වැදූ අම්මා පිළිබඳව තතු සොයා ගනු වස් පසුගිය කාලය මුළුල්ලේ සිය කාලය, මුදල් වැය කරමින් ඇය මහත් පරිශ්‍රමයක් දැරුව ද ඒ කිසිවක් සාර්ථක නොවීම ගැන ඇය වේදනාවෙන් සිටින්නීය.
සාරා ගේ උප්පැන්නයේ උපන් දිනය ලෙස යෙදී ඇත්තේ 1981 පෙබරවාරි 23 වැනිදාය. මවගේ නම ලෙස ඇත්තේ කොන්දසාරි නාරායනී වන අතර ලිපිනය සඳහන් වන්නේ 78/10, පළමුවැනි පටුගම, ගෝතමී පාර, බොරැල්ල යනුවෙනි.
‘’මගේ ස්විස් මවුපියන් කියපු විදියට මාව ගෙනිහින් තියෙන්නෙ ඉපදිලා සති 06 දි විතර. එතකොට මගේ බර තිබිල තියෙන්නෙ කිලෝ 02 යි. බර අඩු දරුවෙක්. ස්විස් ඩොක්ටර්ස්ලා කියල තියෙනවා මාව ඉක්මනින් රෝහල්ගත කරන්න කියලා. මගේ ස්විස් මවුපියන් මාව හොඳින් රැක බලා ගත්තා..
“මං මොන්ටිසෝරි යන කාලෙ මා එක්ක ඉන්න සුදු ළමයි මට කියනව ඔයා ස්විස් නෙවෙයි ඔයාගෙ හම කළුයි කියලා. ඔයාගෙ අම්ම කවුද කියල. ඒත් ඒ කාලෙ මට ඒක වැටහුණේ නැහැ. පස්සෙ මගෙ හමේ වර්ණයේ වෙනස මට ටිකක් තේරෙන කොට මං මේ ගැන ඇහුව මගේ ස්විස් අම්මගෙන්. එතකොට ඒගොල්ල මට ඇත්ත කිව්වා. එතකොට මට මගේ සැබෑ අම්මා දකින්න ආසාවක් ඇති වුණා. කාලය ගෙවිල මං විවාහ වුණා. මගේ පළමු දරුවා උපදින්නෙ 2006 නොවැම්බර් 26. ඒ දරුවා තුරුලු කර ගෙන ඉන්න කොට මගේ පපුවට දැනෙන උණුසුමට මං ආසා කළා. එහෙම ඉන්න කොට අම්මා කෙනකුගේ ආදරය, උණුසුම ගැන මං මෙනෙහි කළා. කැඩපතකින් මූණ බලන හැම වෙලාවකම අනේ මගේ අම්මා කොයි වගේ කෙනෙක් වෙන්න ඇති ද කියා මට හිතුණු වාර අනන්තයි. එදා මගේ අම්මට තිබුණු දරන්න බැරි ප්‍රශ්න නිසා මාව දෙන්න ඇති. මට ඒ ගැන කිසි අමනාපයක් නෑ. හැමදාම මගේ එකම බලාපොරොත්තුව වුණේ මගේ අම්මා සොයා ගැනීම…’’
සාරා ඒ වෙනුවෙන් 2017 දෙසැම්බර් 20 වැනිදා ලංකාවට ආවාය. ඒ සඳහන් ලිපින, තොරතුරු සොයා ගියත් පලක් වූයේ නැත. ඒ කාලයේ මේ දරුවන් විකිණීමේ ජාවාරම් කර ඇත්තේ ව්‍යාජ නම්වලින්, ව්‍යාජ කාන්තාවන් ඉදිරිපත් වී බොහොමයක් බොරු ලේඛන සකස් කිරීමෙන් බව පැහැදිලි විය.
“මං බොරැල්ල පැත්ත පීරලා ඇවිද්දා. ඒ විස්තර අනුව මාව භාර දුන්නා යැයි කියන වයලට් නමැති කාන්තාවක් සොයා ගන්න පුළුවන් වුණා. අනේ වයලට් මට කිව්වා මගේ නියම අම්මා ඇය නෙවෙයි එදා ළමා උසාවියේදී භාර දෙන්න විතරක් කිසියම් මුදලකට ඇය ‘ඇක්ටින් අම්මා’ විදියට හිටියා කියලා. මගේ අම්මා එදා එයාට මුණ නොගැසුණු බව ඇය කිව්වා… මේ ඔක්කොම මෙහෙයවලා තියෙන්නේ රුක්මණි කියල නීතිඥවරියක් බව ඇය කිව්වා. එදා මගේ පපුව පිච්චිලා ගියා..’’
සාරා නැවතත් ස්විස් රටට ගොස් මේ වෙනුවෙන් කිසියම් සටනක් දෙන්නට තීරණය කළාය. ඒ වන විට ඇය සේවය කළේ ස්විස් රජයේ හෙද නිලධාරිනියක ලෙසය. ඇය මේ සම්බන්ධයෙන් ස්විස් ගුවන් විදුලියෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගත්තාය. එහිදී ඇය බොහෝ දේ කීවාය.
යුරෝපය පුරා ප්‍රචාරය වුණු මේ සාකච්ඡාවෙන් පසු ඇගේ ජංගම දුරකථනයට නිවනක් නැති විය. යුරෝපයේ දරුකමට ගෙන ගිය බොහෝ ශ්‍රී ලාංකික දරුවන් ඇය අමතමින් සිය වැදූ මව දැක ගැනීමේ ආශාව, වේදනාව හා හැඟීම් ගැන කියන්නට වූහ. ඔවුන් කීවේ ‘මමත් ඔබ වගේ දරුවෙක්’ යන්නය.
ඒ හැඟීමෙන් මඬනා ලද සාරා රමණි 2018 පෙබරවාරි 24 වැනිදා මෙවැනි හදාගත් දරුවන් කීප දෙනෙක් එක් කොට ගෙන Back to the Roots යනුවෙන් පුංචි මිතුරු හවුලක් නිර්මාණය කළාය. ස්විස් රජයේ රැකියාවෙන් ද ඉවත් වී මේ වෙනුවෙන් කැප වෙන්නට තීරණය කළාය. තමන්ගේ ජීව විද්‍යාත්මක මව සොයන තමන් වැනි යුරෝපයේ ශ්‍රී ලාංකික දරුවන්ට උදවු කරන්නට ‘බැක් ටු ද රූට්ස්’ හරහා පෙරමුණ ගත්තාය.
අසූව දශකයේ මුල පටන් මෙවැනි කිරිකැටි බිලිඳුන් 25,000කට ආසන්න ප්‍රමාණයක් දරුකමට හදා ගැනීම සඳහා යුරෝපය හා ස්කැන්ඩිනේවියානු රටවල් කරා රැගෙන ගොස් තිබේ. මේ දරුවන් ලොකු මහත් වෙද්දී කිසිවක් නොසඟවා විවෘත මනසින් ක්‍රියා කරන සුදු මවුපියන් සියලු තොරතුරු මේ දරුවන්ට කියන අතර ඒ කාලයේ පැරණි ඡායාරූප වැනි යම් යම් මතක සටහන් ද දරුවන් අතට ලබා දෙයි. ඒ නිසා තම ජීව විද්‍යාත්මක මව හෙවත් වැදූ අම්මා දැක ගැනීමේ සියුම් ආශාවක් මේ දරුවන් තුළ හට ගනී. ඔවුන් බොහොමයක් හැකි අවස්ථාවක් බලා ලංකාවට එන්නේ ඒ නිසාය.
එහෙත් මේ ක්‍රියාවලියේ දී කාලාන්තරයක් මුළුල්ලේ සිදුව ඇති දේ ඉතා කනගාටුදායකය. 70 _ 80 දශකවල මහා ජාවාරමක්ව පැවැති මෙම කටයුතුවලදී සුදු මවුපියන්ට මේ දරුවන් පිළිබඳ තැරැව්කරුවන් ලබා දී ඇත්තේ බොහෝ විට වැරදි තොරතුරුය. උප්පැන්න ඇතුළු සමහර තොරතුරු පවා වැරදිය. ඒ නිසා මේ සොයා ගැනීමේ කර්තව්‍ය විටෙක දුෂ්කර වී තිබේ. අනෙක් අතට මේ දරුවන් කිසිවෙක් සිංහල හෝ දෙමළ තමන්ගේ මවු භාෂාව කතා කරන්නට හෝ කියවන්නට දන්නේ නැත. ඒ නිසා ලංකාවේ තැරැව්කරුවන් බොරු අම්මලා පෙන්වා මේ දරුවන් රවටා මුදල් ගරා ගත් අවස්ථා තිබේ. සමහර අහිංසක දරුවන් තැරැව්කරුවන්ට රැවැටී තම අම්මා යැයි සිතා ඇතැම් කාන්තාවන්ට ගෙවල් ෙදාරවල් පවා තනා දී තිබේ. එහෙත් පසුකාලයක DNA ජාන තාක්ෂණය පැමිණීමෙන් පසු මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී.
කාලාන්තරයක් මුළුල්ලේ තම දරුවන් දරුකමට හදා ගැනීමට දුන් ලංකාවේ අම්මලාට දැන් සාරා කියන්නේ මේ සියලු තොරතුරු ලබා දෙන ලෙසය. තම අම්මා සොයන විදේශ රටවල දරුවන් සමඟ සැසැඳීම සඳහා දරුවන් දන් දුන් ලංකාවේ අම්මලා සඳහා සියලුම DNA පරික්ෂණ ඇගේ සහායකයකු වන ප්‍රදීප් සුරංග නම් සංචාරක මඟ පෙන්වන්නා මඟින් සම්පූර්ණයෙන් නොමිලේ සිදුකර දීමට ඇය සූදානම්ය. ඇය මේ අම්මලාට කියන්නේ 0777468398 අංකයෙන් තොරතුරු ලබා දෙන ලෙසය.
විවිධ හේතූන් මත දරුවන් බිහි කොට උන් එතෙරට දන් දීමේ කතාව කිසියම් විදියකින් කෙනකුගේ සිත් පාරවන්නක් විය හැකිය. එය එම කාන්තාවන්ගේ සාපරාධී බව ද සදාචාර විරෝධී ලෙස ජීවත් වීම ද කොටින්ම මේ සමාජයේ විෂම බව ද යන්න කතා කරන්නට මෙහිදී අදහස් නොකරමු. විටෙක පුරුෂෝත්තම සමාජයේ අධිකාරිත්වය ද දුප්පත්කම ද මේ සිදුවීම්වලට හේතු වී තිබේ. මේ සිදුවීම් බහුලව තිබුණු යුගයටත් වඩා පිරිහුණු සමාජයකය අද අප ජීවත් වෙමින් සිටිනුයේ.
ඒ නිසා එවැනි අනවශ්‍ය අගතීන් ගැන කතා කරන්නට හෝ සදාචාර විනිශ්චයන්ට එළැඹීමට අපි අදහස් නොකරමු. ඒ කිසිවක් පිළිබඳ ඉතිහාසයට ෙදාස් පැවැරීමේ කාලය දැන් ඉක්ම ගොස් තිබේ. මෙය ඊට වඩා ගැඹුරු මාතෘ දාරක සෙනෙහස පිළිබඳ මානුෂීය කතාන්දරයකි.
ඉතිහාසයේ එළැඹුණු තත්ත්වයන් යටතේ අසරණ වූ අම්මා එදා ඒ දරුවා දන් දුන්නේ සිතකින් නොවන්නට පුළුවන. තමන්ගේ කුසින් බිහි කළ දරුවා පිළිබඳ නොතිත් සෙනෙහසින් කල් ගෙවනවා විය හැකිය. සාරා රමණි වැනි දරුවන් ද ලංකාවේ මෙවැනි අම්මලා ද දැන් ඔවුනොවුන් හමුවීමේ හදවතේ තෙරපෙන නිහඬ ආශාවකින් පෙළෙනවා නිසැකය.
ඒ නිසා ඔබ මෙයට ප්‍රතිචාර දක්වන්නේ නම් තම මවු භාෂාවෙන් කතා කරන්නට නොදන්නා ඔබේ කුසින් බිහි කළ දරුවාගේ හැඟීම් සහ උතුරා යන හසරැලි දැක ගන්නට සමහර විට ඔබට හැකිවනු ඇත. තමන් තුළ ඇති සෙනෙහසේ සුවඳ තමන් මෙතෙක් නුදුටු අම්මාටත් දරුවාටත් ආඝ්‍රාණය කළ හැකි පරිදි හදවත් ෙදාරකවුළු හරින්නට ඔවුනට හැකි වනු ඇත.
මේ විශ්ව ස්නේහයට කළ හැකි දේ බොහෝ ය.