පුංචි කැකුළු මල්…

පුංචි කැකුළු මල්…

“අම්මා ඒ ලියුම ටීචර්ට දෙන තුරුම ටීචර් මට හරියට ගැහුවා. ලියුම දීපු දා ඉදලා ටීචර් මං දිහා බලන්නෙත් නෑ. මාව ශිෂ්‍යත්වයට තියන්නෙත් නෑ කිව්වා.!”

මං ඉදිරියේ ඉඳගත්ත පුංචි දුවක් දිගටම කියවගෙන ගියා.

ළමයිනුත් මට පිස්සා මෝඩයා කියනවා. කවුරුත් මා එක්ක යාළු නෑ.

මට ඉස්කෝලෙ යන්න හිතෙන්නෙම නෑ.

අම්මා කඳුළු වගුරුවමින් මා ඉදිරියේ ඉදගත්තා.
”කෝ ඒ ලියුම.”
ඇය එය මා අත තිබ්බා.

රෝහලකින් දුන් වෛද්‍ය නිර්දේශයක් එහි තිබුණා. දරුවා අධික්‍රියාකාරී දරුවෙක්.

ඉතිරි ටික ඉතාම වේදනාකාරියි.
දරුවගෙ මේ විශේෂ තත්ත්වය මවුපියන් හා ගුරුවරුන් අඳුනා ගත්තෙ නෑ.

මේ ඉස්කෝලෙ උදේ හයේ ඉදලා හවස පහ විතර වෙන තුරුම දවස් පහම උගන්වනවා. එක පන්තියක් හැම අවුරුද්දෙම පළමු වැනියා වෙනවා. අවාසනාවකට මේ දරුවා ඉගෙන ගන්නෙත් ඒ පන්තියෙ. දරුවා දුර්වල වෙනවට ගුරුතුමිය කැමැති වුණේ නෑ. ඉතිං හැමදාම වගේ ගුටි කන්නත් විවිධ දඬුවම් විඳින්නත් දරුවට සිද්ධ වුණා.

තමන් විතරක් නොවෙයි පන්තියේ අනෙක් ළමයිනුත් ඒ විදියටම ගුටි කන බව යි දරුවා කියන්නෙ.

“ගෙදර වැඩ හරියට දෙනවා. ඒවා කරන්න බැරි වුණොත් ගහනවා. මම දුර්වලයි කියලා මට ශිෂ්‍යත්වයට ඉදගන්න දෙන්න බෑ කිව්වා.”

ගුරුවරිය මේ තීරණය අරගෙන තියෙන්නෙ තමන්ගේ පන්තියෙ අසමත් ප්‍රතිශතය අඩු කරන්න.

දැන් දරුවගෙයි අම්මගෙයි මානසික තත්ත්වය කොහොම වෙන්න ඇතිද?

අම්මා දරුවගෙ විශේෂ තත්ත්වය දැනගන්නෙ ළඟදි. ඉස්කොලෙන් එන පීඩනය වැඩි නිසා දරුවට අම්මගෙනුත් ගුටි කන්න වෙනවා.

අම්මා පැවසුවෙ දැන් දරුවා පාසල් යෑම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඒ වගේම ඇය මවුපියන් සමඟ කතා කරන එකත් නවත්තලා.

“ඔය විදියට එයා අපිත් එක්ක කතා කරන්නෙ නෑ.”

මා එක්ක දරුවා නොනවත්වා කතා කරමින් සිටින බව දුටු අම්මා පැවසුවා.

දැන් දරුවට ඉස්කෝලෙ වගේම ගෙදර ත් එපා වෙලා.

අපි ආපහු පටන් ගමු පුතේ.
අපි මුලින්ම අපිට පුළුවන් දේවල්වලින් පටන් ගමු. පුතා කැමැතිද චිත්‍ර අදින්න.

මම ඇහුවා.

අපොයි ඔව්.

පාට කරන්න කැමැති පැස්ටල්ද දිය සායම්ද පාට පැන්සල්වලින්ද?

පාට පැන්සල්වලින්.

දරුවා මා ළඟට රැගෙන ආවෙත් බොහොම අමාරුවෙන් බව අම්මා කිව්වා. ඒත් ඇය ආපසු ගියේ සතියකට දවස් දෙකක් මා සමීපයට ආ යුතු බව පවසමින් දිනත් වෙන් කර ගනිමින්.

  1. ගුරුවරුන් විශේෂයෙන්ම අඩුම තරමේ විශේෂ අවශ්‍යතා හා ඒ ලක්ෂණ ටිකවත් කරුණාකරලා හඳුනා ගන්න.
  2. ශිෂ්‍යත්වය කියන්නෙ දැන් ශාපයක්. ඒ විභාගයට වඩා දරුවන්ගේ ජීවිත වටිනා බව ජනප්‍රිය පාසල්, ඒ පාසල්වල ගුරුවරු, ඒ පාසල්වල ටියුෂන් කරන ගුරුවරු වගේම මවුපියනුත් අවබෝධ කරගන්න ඕනෙ.
  3. අපි අපේ දරුවන්ට යහ ගුණ කියා දෙමු. පන්තියේ සිටින හැම දරුවකුටම සමානව සලකන්න. මේ දරුවාට ගුරුවරිය වගේම දරුවොත් ගහනවා. කොන් කරනවා.
  4. විදුහල්පතිවරු, අංශ ප්‍රධානීන් මේ කරුණු ගැන සොයා බලන්න.
  5. ශිෂ්‍යත්වය ඇත්තේ අහිංසක ගම්බද දුෂ්කර පාසල්වල ළමුන්ට මිස නගරයේ සුපිරි පාසල්වල ළමයින්ට නොවේ.
  6. ගුරුවරුනි,

මගේ ගුරුවරු බහුතරයක් ගැන මට ඇත්තේ අප්‍රමාණ ගෞරවයක්.
මා ආ ගමනේ ඔවුන් මට යෝධ ශක්තියක්.

අයදිනවා දරු පැටවුන්ගේ ජීවිතවලට ආදරය දෙන්න. ඔවුන් තේරුම්ගන්න.
ඔවුන්ට සංවේදී වෙන්න.

ඔබේ හැසිරීම දරුවන්ගේ ජීවිත ඇති කිරීමට හෝ නැති කිරීමට බලපානවා.

  1. ගුරු සංගම්.
    මින් පසු ඔබේ ඉල්ලීම්වලට මේ දැනුම ලබා දෙන ලෙසට බල කරන ඉල්ලීමක් කරන්න.
    ගුරුවරයකු වීමට නම් ඒ වෙනුවෙන්ම පවත්වන විභාගයක් යෝජනා කරන්න. මන්දයත් රටක් හැදෙන්නේ හෝ නොහැදෙන්නේ ඒ රටේ අධ්‍යාපනයෙන්.
  2. නුසුදුස්සන් සිට්න්නේ පාර්ලිමේන්තුවේම පමණක් නොව පාසල්වලද බව පිළිගන්න.
  3. යහපත් ගුරුවරුන්ට ගෞරවය පිරි නමන අතර, මෙවැනි අපරාධ කරන ගුරුවරුන්ට නැවත තමන් ගැන සිතා බලන ලෙස ඉල්ලීමක් කරන්න කැමැතියි. ගුරුවරුන් නිසා අසහනයට පත් දරුවන් ගණනාවකට ම කතා කරන්න මට පුළුවන් වුණා. ඇතැම් තොරතුරු ලිවීම අසීරුයි.
  4. දරුවන් ගැන වගකීම සියයට පනහ ගණනේ මවුපියන්ට හා ගුරුවරුන්ට පැවරෙනවා. ඒ වගකීමෙන් මිදෙන්න මේ දෙපාර්ශ්වයට ම බෑ.
  5. පාලකයන් ගැන විශ්වාසය තැබීම හෝ ඔවුන්ට දොස්ම පවරමින් අපද අපේ රැකියාවට වංචා කරන්නේ නම් පාලකයන් හා අප අතර වෙනසක් නැහැ.

(,2022 ලියූ ලිපියකි)
සුමේධා නවරත්න

CATEGORIES
Share This