
පාරට බුලත් කෙළ ගැසීම නීතියෙන් යෙන් තහනම් බව ඔබ දන්නවා ද?
Did you know that spitting betel leaves on the street is illegal?
බුලත් යනු සිංහල සංස්කෘතිය සමග ඈත අතීතයේ සිට අත්‍යන්ත බැඳීමක් සහිත ශාකයක් වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ද බුලත්වලින් බලපෑම් සිදුවූ අවස්ථා මෑත ඉතිහාසයේ පවා දැකිය හැකි ය.
“බුලත් විට වෙනුවට චුවින්ගම් හැපීමට සලසන ආර්ථිකයක් නිර්මාණය කරන,” බවට ජනාධිපතිවරණයකදී මහජන රැලියක් අමතමින් වරක් රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් විරුද්ධ පක්ෂවල නිර්දය ලෙස විවේචනයට ලක්වූයේ, “රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් රටේ සංස්කෘතිය ඉවරයි,” යනුවෙන් චෝදනා නගමිනි.
එම චෝදනා රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික ගමන්මගට බෙහෙවින් බලපෑවේ ය. රනිල් වික්‍රමසිංහ ‘සිංහල සංස්කෘතිය’ සමග බද්ධ නොවන චරිතයක් ලෙස අර්ථ දැක්වීමට එම චෝදනා දැවැන්ත බලපෑමක් එල්ල කළේ ය.
ඊට අමතරව, රනිල්ට එල්ල වූ ප්‍රතිරෝධයට සමගාමීව ජනතා ආකර්ෂණය දිනා ගැනීමට මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ඡන්ද සලකුණ ලෙස ‘බුලත් කොළය’ භාවිත කෙරිණි.
එම ඡන්ද සලකුණ යටතේ තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර ගණනක් පුරා ශ්‍රී ලංකාවේ පාලන බලය රඳවා ගැනීමට සමත් විය. (කෙසේ වෙතත්, ඔවුන්ගේ පාලන බලය තහවුරු වීමට බලපෑ එක ම හේතුව ‘බුලත් කොළය’ බව පැවසිය නොහැක)
ඒ අනුව, බුලත් යනු ශ්‍රී ලාංකික දේශපාලනය තුළ ද යම් බලපෑමක් කළ සංස්කෘතික වශයෙන් ප්‍රබල ස්ථානයක් ගන්නා ශාකයකි.
කෙසේ වෙතත්, බුලත් සැපීම මේ වන විට ජනතාවට කරදරයක් වී ඇත්තේ, බුලත් සපන්නන් තැන නොතැන නොබලා කෙළ ගැසීම හේතුවෙනි.

බුලත් කෙළ නැති පාරක්?
මෙම ලිපියෙහි රචකයා මෙය ලියන්නේ, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ගවල ගමන් කිරීමෙන් නිරීක්ෂණය කරන ලද කරුණු ආශ්‍රය කර ගනිමිනි.
අපගේ නිරීක්ෂණය අනුව කොළඹ ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ, බුලත් කෙළවලින් තොර මාර්ගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර බව ය. නිරීක්ෂණය කළ කිසිදු මාර්ගයක් බුලත් කෙළවලින් තොර නොවී ය.

බස් නැවතුම් පොළ ආශ්‍රිතව කරන ලද නිරීක්ෂණවලදී පෙනී ගියේ බුලත් කෙළ ගැසීමෙන් එම පරිශ්‍රයන් අතිශයින් අපවිත්‍ර වී තිබූ බව ය.
ඊට අමතරව, මාර්ගවල බස් නැවතුම් අසල රියැදුරන් විසින් ගසන ලද බුලත් කෙළවලින් මාර්ග වැඩි වශයෙන් අපවිත්‍ර වී තිබේ.
බුලත් කෙළ ගැසීම “සාපරාධී ක්‍රියාවක්”
බුලත් කෙළ ගැසීම සාපරාධී වරදක් බව පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පැවසීය.
“දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තය යටතේ තියෙනවා, පොදු අප්‍රසන්නතාවය. ඒක සාපරාධී වරදක්. ඒ නිසා පාරට බුලත් කෙළ ගහන අයව අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිස් නිලධාරීන්ට,” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සඳහන් කළේ ය.
‘කිසියම් පුද්ගලයෙකු සමාජයට කරදර වන ආකාරයට ශබ්ද පිට කිරීමක්, දුර්ගන්ධය ඇති කිරීමක් හෝ වෙනත් ආකාරයක අප්‍රසන්නතාවක් ඇති කිරීම තහනම්’ බව දණ්ඩ නීති සංග්‍රහයෙහි සඳහන් වෙයි.
මාර්ගවලට බුලත් කෙළ ගැසීම සාපරාධි වරදක් වන හෙයින් ඒ සඳහා අධිකරණයකින් දඬුවම් කල හැකි ය.
“දණ්ඩ නීති සංග්‍රහය ළඟකදී සංශෝධනය වුණේ නෑ. ඒකෙ දඬුවම නම් බොහොම පොඩි දඬුවමක්. රුපියල් 50ක හෝ 100ක මුදල් දඩයක් සහ,හෝ මාස දෙකක සිර දඬුවමක් තමයි තියෙන්නේ,” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පැවසීය.
කෙසේ වෙතත්, සංස්කෘතිකමය සහ සාම්ප්‍රදායික කරුණු හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගසන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
කොරෝනා සමයේ නීතිය
2020 සහ 2021 වසරවල කොරෝනාවෛරස් ව්‍යාප්තිය පැවති සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගැසීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට නිවේදනය කෙරිණි.
කෙසේ වෙතත්, එම කාලයේ පවා පොදු ස්ථානවල කෙළ ගැසූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි පිළිබඳව සුලභව වාර්තා වූයේ නැත.
සෞඛ්‍යයට ඇති බලපෑම
බුලත් විට යහපත් සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපාන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
2015 වසරේදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ, වයස අවුරුදු 18 – 69ත් අතර වැඩිහිටි පිරිමි ජනගහනයෙන් 26%ක් සහ වැඩිහිටි කාන්තාවන්ගෙන් 5%ක් බුලත් විට භාවිත කරන බව ය.
ඊට අමතරව, වයස අවුරුදු 65 – 74 අතර ජනගහනයෙන් 47.7%ක් බුලත් සැපීම කරන බවට 2003 වසරේදී කරන ලද සමීක්ෂණයකදී හෙළි විය.
මේ අතර, ‘2010 වසරේදී පිරිමින් අතර වාර්තා වූ නව පිළිකා රෝගීන් අතරින් 24%ක් තොල්, මුඛ කුහරය සහ මුඛ ග්‍රසනිකාව ආශ්‍රිත පිළිකා රෝගීන් වූ අතර මුඛ පිළිකා රෝගය වැළඳීමට ප්‍රධාන සාධකය බුලත් හැපීම,’ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

දිනකට බුලත් විට 3කට වඩා සැපීම සිදුකරන්නන්ට මුඛ පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පවසන්නේ, මුඛ පිළිකා හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් දෙදෙනෙකු මිය යන බව ය.
‘රටේ පිරිසුදුකම ගැන හිතන්න’
බුලත් සහ ශ්‍රී ලංකාවේ සමාජය අතර බැඳීමක් පැවතිය ද, ප්‍රසිද්ධ ස්ථානවල බුලත් කෙළ ගැසීම සංස්කෘතියෙහි වරදක් නොවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අංජලී වික්‍රමසිංහ පවසයි.
“බුලත් හපන අය හිතන්න අවශ්‍ය යි, තමන්ගේ රටේ ප්‍රසිද්ධ ස්ථාන, මහාමාර්ග පිරිසුදුවට තියාගන්න දායක වෙන්න තමන්ට යුතුකමක් තියෙනවා කියලා. තමන්ගේ නිවස පිරිසුදුවට තියා ගන්නවා වගේ පොදු ස්ථානත් පිරිසුදුවට තියාගන්න ඔවුන් කටයුතු කළ යුතු යි. මේක සංස්කෘතියේ ප්‍රශ්නයක් නෙවෙයි, මිනිස්සු හිතන පතන විදිහේ ප්‍රශ්නයක්. ඒ නිසා රටේ පවිත්‍රතාව පවත්වාගෙන යන්න ඔවුන් දායක විය යුතු යි.”
සෞඛ්‍යමය කාරණාවලට අමතරව, සංචාරක කර්මාන්තය ද ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි රටක පොදු ස්ථාන පිරිසුදුව තබා ගැනීම අතිශයින් වැදගත් බව පොලිස් පරිසර ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා පෙන්වා දුන්නේ ය.
බුලත් සහ සිංහල සංස්කෘතිය
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජන ජීවිතය සමග සම්බන්ධ බොහෝ උත්සවවලදී බුලත්වලට වැදගත් ස්ථානයක් හිමි වේ.
මංගල, අවමංගල උත්සවවලදී පමණක් නොව වැඩිහිටියන්, ගුරුවරුන්, භික්ෂූන් පිදීමේදී ද බුලත් භාවිත වෙයි.
සිරිත් විරිත්වලදී ‘බුලත් අත’ ප්‍රබල වන අතර, දුම්කොළයක් සහිත බුලත් අතක් දී ගුරු දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, අතීතයේ පටන් ම පැවැති සිරිතකි.
රොබට් නොක්ස්ගේ An Historical Relation Of The Island Ceylon ග්‍රන්ථයෙහි බුලත් පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ. “අන් සැම දෙයකටම වඩා ඔවුහු බුලත් හැපීමට ආශා ඇත්තෝ ය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවා ගන්නා ඔවුහු අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ ඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකි ය යනු ඔවුන්ගේ කතාවකි.”

බුලත් කොළයේ ඉතිහාසය
බුලත් කොළයේ ආරම්භය මහා සම්මත රජු දවස දක්වා දිව යන බව පුරාවෘත්තවල සඳහන් වන අතර, මැණික් පාලී නම් බිසවකට ඇති වූ උපන් දොළදුකක් සංසිඳවීම සඳහා නාග ලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක බුලත් කොළය ලෝකයට රැගෙන ආ බව කියවේ.
එම බුලත් කොළයේ නටුව හා අග්ගිස්ස මුවෙහි රඳවාගෙන රැගෙන ආ හෙයින් බුලත් කොළයේ එම කොන් දෙකෙහි නයි විෂ ඇතැයි මතයක් පැවති අතර, බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කර ආහාරයට ගැනීම සිදු වන්නේ ඒ හේතුවෙන් බව පිළිගැනේ.
මේ අතර, බුලත්වල මූලාරම්භය මැලේසියාවේ හෝ නැගෙනහිර ආසියානු කලාපයේ සිදුව ඇතැයි විශ්වාස කෙරෙන අතර, එය චීන හා අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට සහ සෙසු රටවලට හඳුන්වා දුන් බවට පසු කාලීන පර්යේෂණ අනුව පැවසේ.