නිරෝගී, පහසු දරු ප්‍රසූතියකට අවදානම් සහ විශේෂ අවශ්‍යතා සහිත ගර්භණීබව මුලින් හඳුනාගැනීම වැදගත්

නිරෝගී, පහසු දරු ප්‍රසූතියකට අවදානම් සහ විශේෂ අවශ්‍යතා සහිත ගර්භණීබව මුලින් හඳුනාගැනීම වැදගත්

Expecting the Unexpected: Navigating Pregnancy with High-Risk and Special Needs.

මවු කුස දරුවෙකු පිළිසිඳ ගැනීම අතිශය වැදගත් සංසිද්ධියකි. නීරෝගී දරු සම්පතකට හිමිකම් කීමට ලැබීම, අඹු-සැමි යුවලකට හිමිවන විශේෂ වාසනාවන්ත තත්ත්වයකි. එය වඩාත් සාර්ථක වන්නේ උපදින දරුවා ලෙඩ රෝග වලින් තොර නීරෝගී දරුවකු වුවහොත් පමණි. එම තත්ත්වය ලබා ගැනීම සඳහා ඒ ආශ්‍රිත කරුණු කාරණා ගැන මනා අවබෝධයක් ලබා තිබීම ඉතාම වැදගත් වන්නේය.

වයස අඩු මවුවරුන්

අද දවසේ වයස අවුරුදු 13 පමණ වයසේ දැරියන්ද ගැබිණි මව්වරුන්ගේ සායන වලදී දකින්නට ලැබේ. වයස අවුරුදු 18ට අඩු මවකට බොහෝ ගැටලු ඇතිවේ. ඊට ප්‍රධාන හේතුව මවගේ වර්ධනය තවමත් වැඩිහිටි මට්ටමට පැමිණ නොතිබීමය. වයස අවුරුදු 18 ට අඩුනම් ඇගේ ශරීර වර්ධනයටත් පෝෂණය අවශ්‍යය. කුස තුළ සිටින දරුවාටද පෝෂණය අවශ්‍ය වේ.

විශේෂයෙන්ම කිව යුත්තේ ඇයගේ උකුල් ඇටය ආදී අස්ථි මේ වයසේදී ප්‍රමාණවත්ව මෝරා නැති බවයි. එම නිසා දරු ප්‍රසුතියද ඉතා අපහසුය. තවද, ප්‍රීඑක්ලැම්පසියාව හෙවත් ගර්භ විෂ රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩිය. මෙවැනි මව්වරුන් විශේෂඥ සායන වලට යොමු කිරීම කළ යුතුය.

විශේෂයෙන්ම කිව යුත්තේ ඇයගේ උකුල් ඇටය ආදී අස්ථි මේ වයසේදී ප්‍රමාණවත්ව මෝරා නැති බවයි. එම නිසා දරු ප්‍රසුතියද ඉතා අපහසුය. තවද, ප්‍රීඑක්ලැම්පසියාව හෙවත් ගර්භ විෂ රෝගයට ගොදුරු වීමේ අවදානමද වැඩිය. මෙවැනි මව්වරුන් විශේෂඥ සායන වලට යොමු කිරීම කළ යුතුය.

වයස වැඩි මවුවරුන්

අවුරුදු 35 කට පසුව මවකට පළමු දරු ප්‍රසුතිය සිදු කිරීම තරමක් දුරට අපහසු විය හැකිය. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි මවුවරුන්ගේ උකුල් ඇට සන්ධි මෝරා වැඩී ඇති නිසා ප්‍රසුතියෙන් එවා අවශ්‍ය පරිදි නො ඇදීමයි.

වැඩි වයස් කාණ්ඩයේ මවුවරුන්ට, දියවැඩියාව, නිරක්තිය, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව වැළදීමට ඇති ප්‍රවණතාවය වැඩිවේ. මෙවැනි මවුවරුන්ට මන්ද මානසික දරුවන් බිහිවීමට ඇති හැකියාවද අවශේෂ මව්වරුන්ට වඩා තරමක් වැඩි වේ.

උස අඩු මවුවරුන්

සෙන්ටි මීටර් 145 ක් හෝ ඊට වඩා උස අඩු මවුවරුන්ගේ උකුල් ඇට ප්‍රමාණයෙන් පටුවීම හෙවත් ශ්‍රෝණියේ පටුවීම බොහෝ දුරට දක්නට ලැබේ. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රසුතියට බාධා පැමිණීමට ඇතැම් විට ඉඩ තිබේ.

විශේෂයෙන්ම කුසයේ වර්ධනය වන දරුවා විශාල නම් මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරේ. උස අඩුකම නිසා ඇතිවන එම අවදානම කල් තියා හඳුනාගත හැකියි. එම නිසා ගර්භිණී මවකගේ උස මැනීම ඉතා වැදගත් වේ. ගැටළුවක් ඇතිවන ලකුණු පෙනෙන්නට තිබේ නම් මෙම මව්වරුන් සැත්කමක් සිදු කිරීමට පහසුකම් ඇති රෝහලක් වෙත යොමු කෙරේ.

බර අඩු මවුවරුන්

අඩු බර පුමාණයක් ඇති මවක් යනු ශරීර ස්කන්ධ දර්ශකය (BMT) 20 ට අඩු මවකි.

බර අඩු මවක් හා නිරක්තියෙන් පසුවන මව්වරුන්ට ගැටලු රාශියක් තිබේ. නිතර නිතර ගබ්සා වීම, දරුවා නිරක්තියෙන් පෙළීම, දරුවා කුස තුළ මියයෑම, අඩු මාසයෙන් දරු උපත් සිදුවීම, බර අඩු දරුවන් බිහිවීම ඇති විය හැකි ගැටළු සමහරකි.

අඩු බර හා නිරක්තියෙන් පෙළෙන මවුවරුන්ට ප්‍රසුතියේදී අනතුරු සිදුවීමේ අවස්ථාවද වැඩිය.

අඩු බර ඇති මව මුලින්ම හඳුනාගෙන ඇයට අවශ්‍ය පෝෂණ උපදෙස් හා වෙනත් ප්‍රතිකාර ලබා දිය යුතුය. එසේ ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමෙන් ඇයට හා ඇගේ දරුවාට ඇති විය හැකි අනතුරු කල් තබා වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

මහත සහ උදරය වැඩියෙන් ඇති මවුවරුන්

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 25 ට වැඩි වීම හෝ ස්ථුලතාවය 30 ට වැඩිවීම මවට මෙන්ම දරුවාටද හානි කරයි. මවට අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැළදීමේ ප්‍රවණතාවයද එයින් වැඩි කරයි.

බර වැඩි හා ස්ථුල මවුවරුන්ට දරු ප්‍රසුතියේදී අසීරුතා ඇතිවේ. එවැනි මවක් සැත්කමකට භාජනය කිරීමේදී ද සංකුලතා අධිකය. මෙවැනි මවකට අඬු භාවිතා කරන ප්‍රසුතියද ඉතාමත් අසීරුය.

මෙවැනි මව්වරුන්ගේ දරුවන්ද බොහෝ විට විශාල වන බැවින් දරු ප්‍රසුතිය ගැටළුකාරී තත්ත්වයක් වේ. ඔවුන්ද විශේෂඥ වෛද්‍ය පහසුකම් තිබෙන රෝහලකට ඇතුළත් කළ යුතුය.

දරුවාගේ වර්ධනය බාලවූ මවුවරුන්

භ්‍රෑණයාගේ බර වැඩිවීම එකාකාරවම සිදු නොවේ. මුල් සති 20 දක්වා ඉතා සෙමින් භ්‍රෑණයාගේ බර වැඩිවන අතර ඊට පසු වේගයෙන් වැඩි වීම සිදුවේ. භ්‍රෑණයේ වැඩිම බර එකතු වන්නේ අවසාන මාස තුන තුළදීය.

සාමාන්‍යයෙන් තිබිය යුතු කුස තුළ දරුවාගේ බර භ්‍රෑණයාගේ බර වැඩිවීම මෙසේය.

සති 11 දී ග්‍රෑම් 8ක් පමණ ද සති 20 දී ග්‍රෑම් 200 ක්ද සති 28 කදී ග්‍රෑම් 1000 ක්ද සති 36 කදී ග්‍රෑම් 2500 ක් වශයෙන් ද බර තිබිය යුතුය.

භ්‍රෑණයේ වර්ධනයට බලපාන කරුණු

1. ප්‍රවේණි සාධක – පියාගේ උස හා මවගේ උස ආදී කරුණු භ්‍රෑණයාගේ බර වැඩිවීමට බලපායි.

2. මවගේ ජීව විද්‍යාත්මක සාධක.

3. මවකගේ ගැබ් ගැනීමට පෙර තිබු බර

ගැබ් ගැනීමට පෙර මවගේ තිබුණු බර වැඩි නම් භ්‍රෑණයාගේ ද බර වැඩි වේ. එමෙන්ම බර වැඩි වීම අඩු මවකගේ දරුවාගේ වැඩීමත් අඩුවේ.

ගැබිණි මවකගේ සාමාන්‍ය බර වැඩිවීම

මුල් සති 20ටම සිදුවිය යුත්තේ කිලෝ ග්‍රෑම් 2.5 -3.0 ත් අතරය.

ඊළඟ සති 20 දී කිලෝ ග්‍රෑම් 7-9 ක් අතර විය යුතුය. ඒ අනුව මුළු බර වැඩිවීම ගර්භණි කාලයේදීම සිදුවිය යුත්තේ කිලෝ ග්‍රෑම් 10-12 ත් අතරය.

මවගේ වයස වැඩිවන විට දරුවාගේ උපත් බර ක්‍රමයෙන් අඩුවේ. මවට ඉපදුන දරුවන් සංඛ්‍යාව වැඩිවන විට දී නැවත ගැබ් ගන්නා දරුවන්ගේ උපත් බර අඩුවේ. මවගේ පෝෂණය කුස තුළ දරුවාගේ උපත් බර තිරණය කිරීමට බලපායි.

වැදෑමහේ ක්‍රියාකාරිත්වය තීරණාත්මකයි

දරුවාගේ වර්ධනයට වැදෑමහ බෙහෙවින්ම බලපායි. එහෙත් මෙය මවගේ රෝග බොහෝමයක්ම නිසා අඩුවිය හැකිය. එනම් මවගේ අධිරුධිර පීඩනය, මවගේ නිරක්තිය, නිවුන් දරුවන් ගැබ්ගෙන සිටීම, වැදෑමහේ හා පෙකිණි වැලේ විකෘතිතා, මව දුම්බීම, වැනි කරුණු නිසා වැදෑමහේ ක්‍රියාකාරිත්වය අඩු වී දරුවන්ගේ වර්ධනයට බලපායි.

භ්‍රෑණයේ ජීව විද්‍යාත්මක සාධක

භ්‍රෑණයේ හෝමෝන ආශ්‍රිත රෝග තත්ත්වයන් වර්ධනයට බලපායි.

භ්‍රෑණයේ හා අවට අසාදන

භ්‍රෑණයේ හා අවට ආසාදන භ්‍රෑණයේ වර්ධනය අඩුකරයි. මේ හැර මවගේ දියවැඩියාව වැනි හේතු නිසා ද භ්‍රෑණයේ වර්ධනය අධික වේ. මවට අධිරුධිර පීඩනය ඇතිවීම නිසා භ්‍රෑණයාට රුධිර ගමන අඩු වී භ්‍රෑණයේ වැඩීම බාලවේ. භ්‍රෑණයාට වැළදෙන නොයොකුත් අසාදන නිසා භ්‍රෑණයා කුඩා වේ. රුබෙල්ලා වැනි වෛරස මේ සඳහා බෙහෙවින් බලපායි.

භ්‍රෑණයේ වර්ධනය අඩාල වීමට බලපාන අනෙකුත් හේතු

මවගේ මන්ද පෝෂණය දරුවාගේ භ්‍රෑණයේ වර්ධනය අඩුවීමට බෙහෙවින් හේතු වේ. දිළිඳුකම, නුගත්කම, නිසා රැකියාවක් නොමැතිකම, නිසි පරිදි ආහාර පාන නොලැබීම, අපිරිසිදු ජලය පානය, ආසාදන වැඩිවීම, පවුල් සැලසුමක් නොමැති කම නිසා ළඟ ළඟ දරුවන් ලැබීම, පෝෂණය දුර්වල වීම ආදී හේතුන් ගණනාවක් භ්‍රෑණයාගේ වර්ධනයට බලපායි.

නිසි ලෙස සායනවලට නොයාමත් පුර්ව ප්‍රසව සංරක්ෂණය නොලැබීමත් භ්‍රෑණයාගේ භ්‍රෑණයේ අඩු වර්ධනයට බලපාන හේතුන් වේ.

CATEGORIES
TAGS
Share This