
ඉවාන් පවුලූෂා ලිව්වේ ගෝර්කිගේ Makar Chudra පොතේ ආභාසයෙන්
Ivan Paulusha was inspired by Maxim Gorky’s Makar Chudra
ඉවාන් පවුලූෂා කියූ විටම ඒ කන්කලු ස්ත්‍රී හඬ පෞරුෂය ඔබේ දෙසවනෙහි නද දෙනවා නේද? “නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා ඒ සතුටට ගී ගයලා තව සො¾දුරු සිහින ගොතලා” මෙවන් වූ පද හරඹයක් ඔස්සේ රුසියාවට අප කැඳවාගෙන ගොස් බැලලයිකා හඬෙක මෙන්ම මෂෝර්කා නැටුමෙක අලංකාරය අතර අප අතරමං කළ එම ගීතය ඔබට මතකද? අද හදගැස්ම සමඟින් ඔබ හමුවට එන්නේ ඒ කන්කලු හ¾ඩින් ඔබ මන්මත් කළ ගායිකාව අප්සරා ද සිල්වා. මේ දවස් ගෙවී යන්නේ කොහොමද? මේ දවස්වල ඉතා සතුටින් ජීවිතය ගත කරනවා. පසුගිය දින කිහිපය තරමක් කාර්යබහුල ලෙස ගෙවී ගියා. ගීත තුනක වැඩ කටයුතු නිම කිරීම නිසා මේ දිනවල නිදහසේ කාලය ගත කරනවා. මේ ගීතයන් තුනට රූප රචනාවන් තුනකුත් අපි නිර්මාණය කළා. මේ දිනවල එම රූප රචනාවන්වල සංස්කරණ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉතින් ඉක්මනින්ම මේ ගීතයන් ආදරණීය රසිකයන් වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
අපි එහෙනම් අතීතයට ගිහින් ඉවාන් පවුලූෂා ගැන කතා කරමු? මේ ගීතය නිර්මාණය වුණේ මම විශ්වවිද්‍යාලයෙහි ගත කළ අවධියේ. අපි එම අවධියෙහි කලා උළෙලවල්වල ගීත ගායනා කළා. මේ කාලයේ අපිට සංගීත පුහුණුව ලබා දුන්නේ ප්‍රියන්ත ඩිරෙක්ස් අයියා. ඔහු චාරුක සුරවීරට මෙහි පද රචනාව ලිවීමට භාර දුන්නා. මේ ගීතයට පදනම් වෙන්නේ මැක්සිම් ගෝර්කි කියන මහා ලේඛකයාගෙ මකාර් චුද්‍ර කියන පොත. ජිප්සි ජීවිතය ගැන තමයි එහි කිය වෙන්නේ. චාරුක සුරවීර මෙම ගීතය රචනා කළ පසුව ප්‍රියන්ත ඩිරෙක්ස් ඔහු සමඟ සංවාදයෙහි යෙදෙමින් මෙම ගීතයට අගනා සංගීත තනුවක් නිර්මාණය කළා. ඔය අයුරින් තමයි මේ ගීය නිර්මාණය වෙන්නේ.
බොහෝ පිරිස් මෙම ගීය නිර්මාණය වී තිබෙන්නේ නිකලොයි ඔස්ත්‍රවෙස්කිගේ වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙන් කියා පවසනවා. පවුලුෂා කියන්නේ පාවෙල් කියන නාමයට කියන සුරතල් ආමන්ත්‍රණය. එය ඉතා දයාද්‍රයි. පාවෙල් කියන නාමකාය තිබෙන බොහෝ පිරිසක් රුසියාවේ දිවි ගෙවනවා. මේ අයුරින් බලන විට රුසියානු නවකතා රාශියක මෙම නාමකාය තිබෙන චරිත සිටිනවා. මැක්සිම් ගෝර්කිගෙ අම්මා තුළත් වානේ පන්නරය ලැබූ හැටි නවකතාවෙත් තිබෙන්නේ. ඒ නාමකාය පාවෙල් කියන්නේ ඉතා සුලබ නාමකායක්. මේ ගීතය විවිධ පිරිස් විවිධ අයුරින් අර්ථකථනය කරනවා. ඔවුන් ඔවුනොවුන්ගේ දැනුම අනුව මෙම ගීතය කියවා ගන්නවා.
ඒක ඉතා සුන්දර දෙයක්. එයින් කියවෙන්නේ ඕනෑ අයුරකින් සිතා බැලීමට මෙම ගීතය නිර්මාණය කළ පිරිස ඉඩහසර තබා ඇති අයුරුයි. ඒ වගේම මෙම ගීතය නිර්මාණය කිරීමට “The gypsy camp vanishes into the blue” සිනමාපටයත් බලපෑවා. එහි සිටින ලොයිකෝ සහ රද්දා කියන චරිත ද්වය ගීයක පද මාලාවකට යොදා ගැනීම උචිත නොවෙනා නිසා මෙහි පද රචකයා එය ගලා යන අයුරින් ලියා තිබෙනවා. ඔබ ගායනයට යොමු වුණේ කොහොමද? මට කුඩා කාලයේ පටන්ම ගායනය කිරීමේ හැකියාව තිබුණා. මගේ මවුපියන්ට වගේම සහෝදරියටත් ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. අපේ සංගීත ගුරුවරයා මගේ හැකියාව හ¾දුනාගෙන මාව සංගීතයට යොමු කළා. මම විශ්වවිද්‍යාලය දක්වාම ඒ හැකියාව රැගෙන ආවා. අද වන තුරුත් මම සංගීතය සමඟ විශාල බැඳීමකින් දිවි ගෙවනවා. ඔබ බොහෝ කාලයක් විවිධ රටවල දිවි ගෙවූ කෙනෙක්. යළිත් මවු රටට පැමිණීම ගැන මොකද සිතෙන්නේ? මම වයස 24දී මෙරටින් පිටව ගියා. ඉන් පසුව විවිධ රටවල මම මගේ දිවිය ගත කළා. මම නීතිඥවරියක් ලෙස තමයි කටයුතු කළේ. ඉතින් දැන් මම වෙහෙස මහන්සි වී වැඩකටයුතු කළ කාලය අහවරයි. මට දැන් නිදහස තිබෙනවා.
මේ තරම් ලස්සන කටහඬ තබාගෙන නිකන් ඉන්නේ ඇයි කියලා මට බොහෝ දෙනා නෝක්කාඩු කියනවා. මට හිතුණා මොනවා හරි කරන්න ඕන කියලා. ඒ නිසා මම මේ නිර්මාණයන් සිදු කළා. සමාජ මාධ්‍යජාලාවන්හි බලපෑම ඔබ දකින්නේ කොහොමද? එය විසල් බලපෑමක් අද වන විට කලා ක්ෂෙත්‍රයට සිදු කරලා තිබෙනවා. අද මිනිස්සු ගුවන් විදුලිය සහ රූපවාහිනිය නරඹන එක අවම කරලා. අද අලුත් පරම්පරාව යම් දෙයක් ගැන දැන ගන්නේ යූටියුබ් හරහා. ටික්ටොක් වගේ දේවල් සමඟ වත්මන් පරපුර බොහෝ සේ සමීපයි. ගීතය නිර්මාණය කරලා නිකන්ම නිකුත් කිරීම මේ යුගයෙහි උචිත නැහැ. ලෝකය අද බොහෝ දේ ග්‍රහණය කරගන්නේ රූපය, එනම් විෂුවල් ලෙස. අපි ඒ සමඟ ඉදිරියට යා යුතුයි. මගේ ඉදිරි නිර්මාණ යූටියුබ් ඔස්සේද රසිකයන් වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඔබේ නවතම ගීතයන් ත්‍රිත්වය ගැනත් කතා කරමු? හේමමාලි හපුආරච්චි තමයි මේ ගීත අතුරින් එක් ගීයක් රචනා කළේ. එය ඉවාන් පවුලූෂා ගීයට බෙහෙවින් සමාන ගීයක් ලෙස හ¾දුන්වන්න පුළුවන්. අනෙක් ගීය ඊට හාත්පසින්ම වෙනස් අයුරක ගීතයක්. මේ ගීතයන් ද්විත්වයම සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක.
ඔහු විශාල ශ්‍රමයක් මේ සඳහා වැගිරුවා. තෙවැනි ගීතය රචනා කළේ ඇමරිකාවෙහි දිවිගෙවන මිහිරි ගුණසිංහ. එය ප්‍රේම ගීයක්. එම ගීය සංගීතවත් කළේ කපිල අපරැක්ක. ඉවාන් පවුලූෂා ගීතය නව නිර්මාණයක් ලෙස රසිකයා වෙතට ගෙන ඒමේ අදහසක් නැද්ද? මගෙන් බොහෝ දෙනා ඒ පිළිබඳව විමසුවා. නමුත් එය ප්‍රියන්ත ඩිරෙක්ස් කියන සංගීත නිර්මාපකයාගෙන් ඇසිය යුතුයි. ඔහු මෙම ගීතය වෙනුවෙන් වැගිරූ ශ්‍රමය මිල කළ නොහැකියි. එම නිසා ඔහුගේත් කැමැත්ත විමසා බලා එම ගීතය නැවත නිර්මාණය පිළිබඳව සිතා බැලිය යුතුයි. ඔබ සාහිත්‍යයට දැඩි ලෙස කැමැත්තක් දක්වන තැනැත්තියක් ඔබේ සාහිත්‍ය ලාලසාව පිළිබඳව කතා කරමු?
අපි 70 දශකයේ උදවිය අපි මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය සමඟ ගොඩ නැඟුණා. අපිට තිබුණේ පොත් කියවන එක විතරයි. අපිට රුසියන් සාහිත්‍ය කෙරෙහිත් විශාල ඇල්මක් තිබුණා. කපිතාන්ගේ දියැණියෝ වගේම ඇලෙක්සැන්ඩර් ඩූමාගේ පොත් පවා අපි කියවූවා. මම කැමැතිම පොතක් කියලා නැහැ. මම සෑම වසරකට වරක්ම කියවන කෘතීන් දෙකක් තිබෙනවා. ඒ වෘකයන් අතර නග්නව සහ ඇට මැස්සා කියන විශිෂ්ට කෘතීන් දෙක. ඒ කෘතීන් කියවන හැම විටම මට අලුත් දෙයක් ලැබෙනවා. ගිහාන් සචින්ත