රෝග නසන Green Tea දෙස විදු ඇසින් බැල්මක්

රෝග නසන Green Tea දෙස විදු ඇසින් බැල්මක්

රෝග නසන Green Tea දෙස විදු ඇසින් බැල්මක්

ලෝකයේ බහුල ව පානය කරන පාන වර්ග අතර තේ ප්‍රමුඛස්ථානය ගනී. තේ පානය දෙවැනි වනුයේ ජලයට පමණි. ලෝකයේ භාවිත වන තේ වර්ග අතරින් බ්ලැක් ටී, ග්‍රීන් ටී නැත හොත් හරිත තේ සහ වයිට් ටී බහුල ව පානය කරන තේ වර්ග ලෙස දැක්විය හැකි ය. ජපානය වැනි ඇතැම් රටවල තේ පානය වනාහි කලාවකි. එනමුත් තේ පානය තුළ කලාවක් මෙන් ම විද්‍යාත්මක පදනමක් ද ඇත.

තේ නිපදවන්නේ තේ ගසෙහි ළපටි තේ දල්ලෙනි. එනම් පළමු දල්ල හෙවත් අංකුරය සහ එයට ආසන්නයේ ම පවතින්නා වූ දලු දෙක මඟිනි. මේ දලු අධික ලෙස ප්‍රතිඔක්සිකාරකයන් ගෙන් (antioxidant) සමන්විත සංයෝග සහිත වන අතර ඒවා ශරීරයට අත්‍යවශ්‍ය සංයෝග වේ.

මිනිසාට ඇති වන බොහෝ රෝග සහ ව්‍යාධින්ට හේතු වන්නේ ඔක්සිකාරක ආතතිය (oxidative stress) නම් තත්ත්වයයි. මේ තත්ත්වය ඇති වන්නේ ශරීරයේ සෛල තුළ අධිශක්ති අණු එනම් free radical නම් සංඝටක සීමාව ඉක්මවා හට ගැනීමෙනි. මේ නිසා ඔක්සිකාරක ආතතිය ඉහළ යත් ම සෛල වයස්ගත වීමේ (cell aging) වේගය ද සමානුපාතික ව වැඩි වේ. එම ක්‍රියාවලියේ දී ශරීරය තුළ අහිතකර රසායනික ද්‍රව්‍ය නිපදවේ. ඇතැම් සංයෝග පිළිකාකාරක වේ. ඒවා සෛල තුළ එක් රැස් වීම නිසා සෛල තුළ රසායනික ද්‍රව්‍යවල අසමතුලිතතාවක් මතු වේ. මේ නිසා පිළිකා, අධික රුධිර පීඩනය, විෂාදය මෙන් ම වෙනත් සංකූලතා වැනි විවිධ රෝගී තත්ත්ව ඇති වීමේ අවදානමක් පවතී. මේ නිසා අහිතකර රසායනික ශරීරයෙන් බැහැර කළ යුතු වේ. ඒ සඳහා ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය මහඟු සේවයක් ඉටු කරයි. මෙහි දී සිදු වන්නේ ප්‍රතිඔක්සිකාරක අධිශක්ති අංශු සමග සටන් කොට මේ අධිශක්ති සංයෝග උදාසීන කිරීම ය. එමඟින් නැවතත් සෛල තුළ සමතුලිතතාව ඇති කෙරේ. ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයන්ගේ අහිතකර බලපෑම් ඉතා අවම වන හෙයින් ඒවා භාවිතය වඩාත් සුදුසු වේ.

නවතම පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙන පරිදි බ්ලැක් ටී හෝ වයිට් ටීවලට සාපේක්‍ෂ ව ග්‍රීන් ටීවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ ය. එයට හේතුව ලෙස ග්‍රීන් ටී තුළ අඩංගු ‘කැටචින්’ (catechin) නම් ප්‍රතිඔක්සිකාරක සංඝටකය දක්වා ඇත. කැටචින් යනු ප්‍රතිඔක්සිකාරක අගය ඉතා ඉහළ අගයක් ගන්නා සුපිරි ප්‍රතිඔක්සිකාරක සංයෝගයකි.

කැටචින් අයත් වන්නේ ෆ්ලවනොයිඩ් නම් ද්විතීක පරිවෘත්තීය සංඝටකයන් ගණයට ය. ෆ්ලවනොයිඩ් කුලයේ ප්‍රතිඔක්සිකාරක ශාකමය වන අතර ඒවා ස්වාභාවික ව ශාක තුළ ඇති වන ආතතිමය තත්ත්වයන් හමුවේ ජනනය වීම සිදු වේ.

ඉහත සඳහන් කළ ග්‍රීන් ටී සංඝටකයන්ට පිළිකා ඇති වීම වැළැක්වීමට හැකියාවක් ඇති බව සොයාගෙන ඇත (පහත වගුව බලන්න). එමෙන් ම EGCG සංයෝගය විවිධ රෝගී තත්ත්වයන්ට එරෙහි ව ක්‍රියා කිරීමේ දී ප්‍රමුඛස්ථානයක් ගන්නා බව විද්‍යාත්මක ව පහදා දී ඇත. නවතම පර්යේෂණවලට අනුව ග්‍රීන් ටීවල අඩංගු කැටචින් ඇතුළු අනිකුත් සංඝටක මඟින් හෘදයාබාධවලට හේතු වන අධික මේද තත්ත්ව, රුධිර පීඩනය සහ ඒ සමඟ ම ඇති වන ඔක්සිකාරක ආතතියට එරෙහි ව ක්‍රියා කරමින් හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩු කරන බව සොයාගෙන ඇත.

එමෙන් ම පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම නිසා සමේ සෛලවල ඇති DNA අණුවල ඇති වන විකෘතිතා නිසා හට ගන්නා සමේ පිළිකා තත්ත්වවලට එරෙහි ව ක්‍රියා කරමින් ඒවා ඇති වීමේ අවදානම අඩු කරන බව ද සොයාගෙන ඇත. මෙහි දී ග්‍රීන් ටී සාරය සම මත ආලේප කිරීම මඟින් සමට ආරක්‍ෂාව සැපයේ. ග්‍රීන් ටී සාරය සහ එහි ඇති පොලිෆීනෝල් සංයෝග මඟින් අධික තරබාරු බව සහ ස්ථුලභාවය අඩු කර ගැනීමට ද ශරීරයේ බර පාලනය කිරීම කෙරෙහි ද දායක වන බව ජපාන විද්‍යාඥයන් පිරිසක් විසින් මීයන් සහ මිනිසුන් යොදාගෙන කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. මෙහි දී ග්‍රීන් ටීවල අඩංගු කැටචින් සහ එහි පීනොලික සංයෝග සිරුරේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීම, ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා වේගවත් කිරීම සහ සිරුරේ ශක්ති තුල්‍යතාව පවත්වාගැනීමට දායක වන බව ද සොයාගෙන ඇත. එමෙන් ම අධිසාන්ද්‍ර කැටචින් ද්‍රාවණයක් මඟින් ලිපිඩ බිඳ හෙළීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් දෛනික ක්‍රියාවන්හි ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට ද දායක වන බව සොයාගෙන ඇත.

ග්‍රීන් ටීවල අඩංගු පීනොලික සංයෝග මඟින් ඔක්සිකාරක ආතතිය නිසා ඇති වන හානියෙන් අභ්‍යන්තර අවයවවලට ආරක්‍ෂාව සපයන අතර වකුගඩු අක්‍රීය වීම වළක්වන බව ද නවතම පර්යේෂණ වාර්තාවලින් තහවුරු වී ඇත. මේ කාර්යභාරයේ දී (-) -epigallocatechin-3 – 0-gallate මහඟු කාර්යභාරයක් ඉටු කරයි. ඇඩිනීන් සහ දියවැඩියාව හේතු වීමෙන් වකුගඩු අක්‍රීය වීමේ අවදානම අඩු කිරීමට මේ සංයෝගය ඉවහල් වන බව චීන විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත. ග්‍රීන් ටීවල පීනොලික සංයෝග මඟින් ආජීනීන් මඟින් ඇති වන වකුගඩු අක්‍රීය වීම වළකයි. එමෙන් ම අස්ථි සහ මාංශ පේශිවල හටගන්නා රෝගී තත්ත්වයන් අවම කිරීමට ද ග්‍රීන් ටීවල ඇති ප්‍රතිඔක්සිකාරකයන්ට හැකියාවක් පවතින බව ද සොයාගෙන ඇත.

සිරුරේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ද ග්‍රීන් ටීවල පීනොලික සංයෝග සහ කැටචින් දායක වන බව කෝවිඩ්-19 වයිරසය යොදා ගෙන කරන ලද පර්යේෂණවල දී සොයාගෙන ඇත. ජපානයේ සාම්ප්‍රදායික වෙදකමේ දී අසාත්මිකතාවන් ඇති වූ විට ග්‍රීන් ටී සාරය භාවිත කරන අතර එහි විද්‍යාත්මක පදනම ද නවතම පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අනුව ග්‍රීන් ටී යනු nutraceutical සංඝටකයක් බව නවතම පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. මේ නිසා ග්‍රීන් ටී දෛනික ජීවිතයේ දී භාවිත කිරීම ඉතා වැදගත් ය. එහෙයින් මිනිසාගේ භාවිතය සඳහා ග්‍රීන් ටී කැටචින් සහ EGCG වැනි පීනොලික සංයෝග කැප්සියුල, පෙති, ටොෆි ආදි විවිධ ආකාරවලින් නිපදවා ඇත. බොහෝ රටවල් දැන් ග්‍රීන් ටී සහ කැටචින් තම දෛනික ආහාරයට අතිරේකයක් (supplement) ලෙස එකතු කරගෙන ඇත.

ශ්‍රී ලාංකීය හරිත තේවල අඩංගු සුවිශේෂී සංඝටක පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට තේ පර්යේෂණ ආයතනය මඟින් සිදු කරනු ලබයි. එම අධ්‍යයනවලට අනුව ශ්‍රී ලාංකීය හරිත තේවලට ම සුවිශේෂී වූ සංඝටක කිහිපයක් ම මේ වන විට සොයාගෙන ඇත. එම සංඝටක මඟින් නිදන්ගත රෝග සුව කිරීමේ හැකියාවක් ද පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයය මඟින් සිදු කරන අධ්‍යයනයකින් හෙළි විය. පර්යේෂණ මඟින් සොයාගන්නා ලද සුවිශේෂී සංඝටක අතර කැටචින් සහ එපිගැලෝකැටචින්වලට විශේෂ ස්ථානයක් හිමි වේ. ඊට හේතුව අනෙක් රටවල හරිත තේවලට සාපේක්‍ෂ ව මේ සංයෝග දෙකෙහි ක්‍රියාකාරිත්වය වැඩි වීමයි.

පර්යේෂකයෝ මේ වන විට ග්‍රීන් ටී පීනොලික සංයෝග, Nutri-genomic සහ Proteo-mics පිළිබඳ පරීක්‍ෂණ කරති. එනම් සෛල ක්‍රියාකාරිත්වය සහ ග්‍රීන් ටීවල අඩංගු පීනොලික සංයෝග අතර පවතින සම්බන්ධතාව අධ්‍යයනය කෙරේ. විශේෂයෙන් ම මෙහි දී වැඩි අවධානයක් යොමු ව ඇත්තේ පිළිකා සෛලවල ජාන ක්‍රියාකාරිත්වයට එරෙහි ව ග්‍රීන් තේවල පීනොලික සංයෝග මඟින් සිදු කරන බලපෑම පිළිබඳවයි. පිළිකා සෛල තුළ සිදු වන අසාමාන්‍ය ජාන ක්‍රියාකාරිත්වය සහ ඒවායේ ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය බිඳ හෙළීමට කැටචින් දායක වේ. මේ නිසා කැටචින් සංයෝගය අනාගතයේ දී පිළිකා මර්දන ඖෂධ නිපදවීම සඳහා භාවිත කළ හැකි බව ද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

CATEGORIES
TAGS
Share This