
ගීසා මහා පිරමීඩයේ නිර්මාතෘ කව්ද?
Who built the Great Pyramid of Giza?
ලෝකයේ පුදුම 7 න් එකක් ලෙස පුරා වසර 4000 කටත් එහා ඊජිප්තුවේ කයිරෝ නුවර ආසන්නයේ පිහිටි මහා පිරමීඩය වැජඹුණි. ගීසාහි මහා පිරමීඩය වසර දහස් ගණනාවක් පුරා සහරා කාන්තාරයේ වැලි මතින් වැසෙමින් පැවතුණද ගෙවුණ වසර 200 තුළ ලොව වැඩිම ගවේෂණ ප්‍රමාණයක් වැඩිම පිරිසක් සම්බන්ධ වී සිදු කළ පුරාවිද්‍යා භූමිය වන්නට ඇත. නමුත් අදටත් ගීසාහි මහා පිරමීඩය සම්බන්ධව නොවිසඳුණු ප්‍රධානතම ප්‍රශ්න 4 ක් ඇත.
1. මහා පිරමීඩයේ නිර්මාතෘ කව්ද?
2. මහා පිරමීඩය නිර්මාණය කළේ කවදාද?
3. මහා පිරමීඩය නිර්මාණය කළේ කොහොමද?
4. මහා පිරමීඩය නිර්මාණය කළේ ඇයි?
වර්තමානය වන විටත් අඛණ්ඩව පුරාවිද්‍යාඥයන් විසින් ඊජිප්තු ශිෂ්ඨාචාරය සම්බන්ධ ගවේෂණ සිදු කළද උපකල්පන වලින් එහාට ගොස් ඉහත ප්‍රශ්න 4 ට සෘජු සාක්ෂි සහිත පිළිතුරු ලැබී නැත.
මහා පිරමීඩය සේම බොහෝ නිර්මාණ වල එදා සිට අද දක්වාම මෙන්ම අනාගතයේදීත් නිර්මාතෘ ලෙස සටහන් වන්නේ රාජ්‍ය පාලකයා වේ. එවන් ඉදිකිරීමකට සම්බන්ධ ප්‍රධාන ශිල්පීය සුදුස්සා බොහෝ විට සටහන් නොවීම හෝ සටහන් වුවද සමාජයේ ප්‍රසිද්ධ නොවීම බොහෝ සුලභය. ඒ අනුව මහා පිරමීඩයද කුෆු රජු ඉදි කළ බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි. කෙසේ නමුත් මහා පිරමීඩය ඉදි කළ පුද්ගලයා පිළිබඳ නූතන පුරාවිද්‍යාඥයන් විවිධ සාක්ෂි හා සාධක අනුව දක්වන සටහන මෙසේ වෙයි.
“මහා පිරමීඩය කුෆු රජුගේ කාලයේදී ඉදි කොට ඇත. මෙහි කුෆු යනු පාරාවෝ රජ පෙළපතේ සිටි තවත් එක් රජෙකි. මෙම පිරමීඩය සඳහා නිර්මාණ ශිල්පී දායකත්වය ලබගත්තා යැයි විශ්වාස කරන්නේ හෙමියුනු නම් රාජකීයයන්ගේ වැඩ කටයුතු සඳහා සමබ්න්ධ වන රාජකීය කුමාරයෙකි. එසේම මුල් කාලීන ඊජිප්තු පිරමීඩ සඳහා ශිල්පීය දායකත්වය ඉම්හොටෙප් නම් පඬිවරයාගේ සහය ලබා ගෙන ඇත. හෙමියුනුගේ සොහොන් ගැබද කුෆු රජුගේ සොහොන් ගැබ ආසන්නයේම පිහිටා ඇත.”
මෙම තොරතුරු අනුව වර්තමානයේදී කුෆු රජුගේ පිරමීඩයේ නිර්මාණ ශිල්පියා “හෙමියුනු” බවට පුරාවිද්‍යාඥයන් “විශ්වාස“කරති. එසේම කුෆු රජුගේ කාලයේදී මහා පිරමීඩය ඉදි කළ බවටද ප්‍රභල සෘජු සාක්ෂි තවම හමුවී නැත. ඇත්තේ යම් කුඩා අවශේෂ සාක්ෂි විය හැකි අනුමානයන් පමණකි.
මෙවැනි තත්ත්වයක් තුළ මහා පිරමීඩයේ විශ්මයජනක ස්වභාවය හේතුවෙන් මෙය පිටසක්වල ජීවීන් නිර්මාණය කළා හෝ කාල තරණය කළ පිරිසක් නිර්මාණය කළා යැයි සමාජය විසින් විවිධ වූ උපකල්පන ඉදිරිපත් කොට ඇත. නමුත් ඒ කිසිවක් සනාථ කළ හැකි සාක්ෂි හමු වී නැත.
නමුත් මහා පිරමීඩය හෝ ඒ වටා ඇති පිරමීඩ සම්බන්ධව ගවේෂණ ආරම්භ වූ 19 වන ශත වර්ෂයට පෙර හා පසු කාලයන් වල මහා පිරමීඩයේ නිර්මාතෘ සම්බන්ධ තොරතුරු යම් යම් අවස්ථාවල ග්‍රන්ථ වල සහ වාර්තා වල අඩංගු වේ. ඒවා බොහෝ විට වර්තමාන පුරාවිද්‍යාඥයන් පෙන්වනු ලබන තොරතුරු වලට වඩා හාත්පස වෙනස් වේ. මේවා ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාවට වඩා වෙනස් තොරතුරු වුවද මේවා දැනට තොරතුරු ලෙස පමණක් පවතී. මේවා ඔප්පු කිරීමට තවම කිසිඳු සාක්ෂියක් හමුවී නොමැත. එසේ හෙයින් මෙම තොරතුරු හුදෙක් හිතළු ලෙස බැහැර කළ නොහැක.
මහා පිරමීඩයේ බලසම්පන්න බව හා එහි නිර්මාතෘ සම්බන්ධ පැරණිම වාර්තාවක් වන්නේ අප හොඳින් අසා ඇති දේශ ගවේෂකයෙක් වූ ඉබන් බතූතා ක්‍රි.ව. 1300 ගණන් වල සටහන් කළ වාර්තා වේ.
ඉබන් බතූතා ගේ වාර්තාවෙන් කොටසක්
“පිරමීඩ යනු යුග ගණනාවක් පුරා සමරනු ලැබූ ආශ්චර්යයන් වන අතර, ඒවා ගැන මිනිසුන් අතර බොහෝ කථා සහ න්‍යායන් ඇත. ඒවායේ වැදගත්කම සහ ඒවායේ ඉදිකිරීම් ආරම්භය වැනි දෑ ඒ අතර වේ. පිරමීඩ යනු කේතුවක රූපයක් මෙන් පාමුල පළල් සහ මුදුනේ පටු වන අතිවිශාල උසකින් සහ වෘත්තාකාර සැලැස්මකින් යුත් ඝන ගල්වලින් සෑදූ ගොඩනැගිල්ලකි. මෙයට දොරටු නොමැති අතර ඒවා ඉදිකරන ආකාරය නොදනී. මෙය සම්බන්ධ එක් කතාවක් නම් එක්තරා රජෙක් ගංවතුරට පෙර නයිල් ගඟේ බටහිර පැත්තේ මෙම පිරමීඩ ගොඩනඟා ගැනීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේ විද්‍යාවන් ගබඩා කිරීමට සහ රජුන්ගේ සිරුරු තැන්පත් කිරීමට ස්ථානයන් ලෙස ය. ඒ තමාගෙන් පසුව ඊජිප්තුවට පැමිණෙන ගංවතුරින් ආරක්ෂා කිරීමටය. සියළුම දැනුම මෙම රජු සිටි ප්‍රදේශයෙන් පැමිණුන අතර මෙසේ ගංවතුර පැමිණීමට පෙර මහා පිරමීඩය ගොඩ නැගූ රජු කනුක් එසේ නැත්නම් ඉනොක් වේ.”
ඉබන් බතූතාගේ මහා පිරමීඩ වාර්තාව තව දීර්ඝ වුවත් මේ කෙටි විස්තරයකි. එහිදී මහා පිරමීඩය විවෘත කිරීම සම්බන්ධ කතාවක් මෙන්ම නිර්මාණය කිරීම සඳහා වසර 60 ක් ඔවුන්ට ගත වූ බවද සඳහන් වේ. ඉබන් බතූතා සඳහන් කරන අන්දමට මෙහි ඉනොක් යනු “හර්මිස් ට්‍රිස්මෙගිස්ටස්” නාමයෙන්ද හැඳින්වූ පුද්ගලයෙකි. එනම් ඊජිප්තුවේ දැනුමට අධිපති වන තොත් දෙවියන් ලෙසද හඳුන්වා ඇත.
හෝවාර්ඩ් වීසේගේ ග්‍රන්ථය
හෝවාර්ඩ් වීසේ විසින් රචනා කළ Pyramids of gizeh නම් ග්‍රන්ථයේ 2 වන වෙළුම තුළද නිර්මාතෘ සම්බන්ධ බොහෝ පුරාණ ඉතිහාසඥයන්ගේ හා ලේඛකයන්ගේ වාර්තා අඩංගු වේ. එයින් බොහොමයක් අය කි.ව. 1 වන සියවසට පෙර මිය ගිය අය වේ.
අල් මකින් සඳහන් කරන්නේ
“පිරමීඩ ඉදි කළේ හර්මිස් සහ රජවරුන්. ඔවුන් ඔවුන්ගේ ආම්පන්න තැන්පත් කිරීමට හා ඔවුන්ට සිටීමට කලාපයක් ලෙස. ඒ නැවත ඉදිරිරියේදී ලෝකයට පැමිණීමට.”
මොහොමඩ් අල් වල්වටි සඳහන් කරන්නේ
” මෙය සෞරිඩ් නම් පුරාණ රජෙක් ඉදි කළේය. ඔහු සාම්ප්‍රදායිකව හඳුන්වන හර්මිස් රජු විය හැකිය.”
ලේඛකයෙක් වන අබුල් සොරර් සඳහන් කරන්නේ
” පිරමීඩ නිර්මාණය කළේ හර්මිස් විසින් මරණයට පත් වුවත් ජීවත්ව සිටින ලෙස දැනීමට.”
ෆිරසබාඩි සඳහන් කරන්නේ
” විනාශය මධ්‍යයේ කලාව, විද්‍යාව හා අනෙකුත් දැනුම ගබඩා කිරීමට එඩ්‍රිස් විසින් මෙම පිරමීඩ ඉදි කළේය.”
මක්‍රිමි සඳහන් කරන්නේ
“හර්මිස් සහ ඔහුගේ බිරිඳ රජකම් කිරීමට පිරමීඩ 2 ක් ඉදි කළහ.”
අරාබි ඉතිහාසඥ අල් මක්‍රිසි සඳහන් කරන්නේ
” මහා පිරමීඩය ගංවතුර පැමිණීමට පෙර සෞරිඩ් රජු ඉදි කළේය.”
මහා පිරමීඩයේ නිර්මාණය සම්බන්ධ තවත් තොරතුරු ලබා දුන් පුද්ගලයෙක් 20 වන සියවසේ මුල් භාගයේ ජීවත් විය. ඔහු එම තොරතුරු ලබා ගත් ආකාරය වර්තමානයේදී බොහෝ පිරිසකගේ හාස්‍යට ලක් වුවද ඉතා පුදුම සහගත ලෙස පෙර සඳහන් කළ පුරාණ ඉතිහාසඥයන් හා කතුවරුන් සටහන් කළ තොරතුරු වලට බෙහෙවින් සමානය. මෙම තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා අන් කවරෙකුත් නොව එඩ්ගාර් කේසි වේ. එඩ්ගාර් කේසි යනු අත්ලාන්තිසය සම්බන්ධව පමණක් තොරතුරු ඉදිරිපත් කළ අයෙක් ලෙස බොහෝ අය දැන සිටියද ඒ හා සමානම ආකාරයෙන් පූර්ව ඊජිප්තු ශිෂ්ඨාචාරය සමබන්ධවද බොහෝ තොරතුරු පවසා ඇත.
පුරාණ නැති වූ අත්ලාන්තිස් පුරවරය සම්බන්ධ තොරතුරු වලදී මහත් ප්‍රසිද්ධියක් උසුලන ඇමරිකානු දිවැසිවරයෙක් වූ එඩ්ගාර් කේසි එම තොරතුරු ලබා ගත් ආකාරය මනස මූලික කරගත් ක්‍රමයකි. එම ක්‍රමය සමහරෙක්ට ප්‍රශ්නකාරී වුවද එය පසෙක තබා ඔහු කියවීම් හරහා ලබා දුන් අති විශාල තොරතුරු අතර මහා පිරමීඩය සම්බන්ධව බොහෝ තොරතුරුද ඇත. හියු ලින් කේසි විසින් සංස්කරණය කළ edgar cayce on Atlantis නම් ග්‍රන්ථයේ 5 වන පරිච්ඡේදය තුළ සිදු කරන පූර්ව ඊජිප්තු ශිෂ්ඨාචාරය සම්බන්ධ දීර්ඝ කියවීම් අතර මහා පිරමීඩයේ නිර්මාතෘ පිළිබඳවද සටහන් කොට ඇත.
එඩ්ගාර් කේසි දුටු මහා පිරමීඩයේ නිර්මාතෘ
“මීට වසර 13,000 කට පෙර කෝකේසියන් ප්‍රදේශයේ නායකයා වූ අරර්ත් තම ජනතාව සමඟ ඊජිප්තුවට පැමිණියේය. ගීසාහි මහා පිරමීඩය සහ ස්පින්ක්ස් ඔහුගේ පුත් අරාර්-ආර්ත් ගේ පාලන සමයේදී ඉදිකරන ලද්දකි. මෙම ඉදි කිරීමට හර්මිස් සහ රා හවුල් විය. අත්ලාන්තිසය ගිලී ගිය සමයේදීම ඊජිප්තුවද ගංවතුරට හසු විය.”
මේ ආකාරයෙන් තවත් පුරාණ ග්‍රන්ථ හා වාර්තා වල මහා පිරමීඩයේ නිර්මාතෘ සම්බන්ධ තොරතුරු සටහන් වේ. මේ ඒ අතරින් කිහිපයකි. නමුත් මහා පිරමීඩය සමඟ මෙතරම්ම “හර්මිස්” නම් පුද්ගලයෙකුගේ නමක් “ගංවතුර” නැමැති විනාශයක් වගේම “දැනුම” ගබඩා කිරීම නම් හේතුවක් සටහන් වන්නේ කෙසේද? ඇයි කුෆු නම් රජුගේ නාමයක් හෝ සටහන් නොවන්නේ? මහා පිරමීඩය කුෆුගේ අණින් නිර්මාණය වූවක් නම් ඒ පිළිබඳ කිසිඳු පුරාණ ග්‍රන්ථයක හෝ වාර්තාවක සටහන් නොවීම විශ්මයජනකය. එසේම එය ජනප්‍රවාදායක් වූවා නම් එකල ඉතිහාසඥයන් හට ඒ බව පහසුවෙන් දැන ගැනීමට හැකිය. ඒ බොහෝ වාර්තා වලට එකල ඊජිප්තු ජනප්‍රවාද හා වර්තමානයේ සොයා ගත නොහැකි සාක්ෂි හා සාධක හේතු විය හැක. මක් නිසාද යත් හෝවාර්ඩ් වීසේ ගේ ග්‍රන්ථයේ සඳහන් කොට ඇති පුරාණ ඉතිහාසඥයන් ක්‍රි.ව. 1 වන සියවසටත් පෙර ජීවත් වූවන් වේ.
ඉහත තොරතුරු සත්‍ය නම් මෙම හර්මිස් නැමැති පුද්ගලයා ඉනොක්, එඩ්‍රිස්, කනුක්, තොත්, නින්ගිශිස්ඩා, සෞරිඩ් වශයෙන් නම් විශාල ප්‍රමාණයකින් විවිධ අය හඳුන්වා ඇති බව වාර්තා වලින් පෙනේ. එනම් බොහෝ විට මේ සටහන් වන්නේ එකම පුද්ගලයෙක් විය හැකිය. එසේම මහා පිරමීඩය ඉදි කොට ඇත්තේ “හර්මිස්” විසින් “දැනුම හා විද්‍යාවන්” විනාශ නොවී “ගං වතුරින්” ආරක්ෂා කර ගැනීමටය. ඉහත සටහන් අනුව මේ නයිල් නදියේ ඔවුන් දන්නා සාමාන්‍ය ගං වතුර නොවිය යුතුය. එසේම ඔවුන්ගේ දැනුම ගබඩා කිරීමට විශාල අවශ්‍යතාවක්ද පැන නැගී ඇත. ඓතිහාසිකව සිදුවූ දැවැන්ත විනාශයකින් මිනිස් දැනුම බේරා ගැනීමට ඔවුන් මහා පිරමීඩය ගොඩ නගා ඇත.
එසේ නම් මෙම පුරාණ ඉතිහාසඥයන් හට මහා පිරමීඩයේ ඉදි කිරීම සම්බන්ධ සෘජු සාක්ෂි හමු වූවා දැයි සැක උපදී. වර්තමානය වන විට එම සෘජු සාක්ෂි විනාශ වී තිබිය හැක. ඒ අනුව ඉහත තොරතුරු වලින් කියවෙන්නේ විවිධ ජාතීන් මහා පිරමීඩයේ නිර්මාතෘ ගැන පැවසූ එකම කතාවකි. නමුත් මෙම තොරතුරු තහවුරු කර ගැනීමට සාක්ෂි අවශ්‍යව ඇත.